පතාල සාමාජිකයන්ගෙන් ජීවිත තර්ජන ඇතැයි කියා විදේශයකට ගිය පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇති බව පවසන නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයාගේ මෙහෙයවීමෙන් සහ විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශන කටයුතු ආරම්භ කොට ඇති බවද පවසයි .
ඒ මහතා නව තනතුරේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව අද (02) මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය හමුවේ ඒ බව අවධාරණය කළේය .
එහිදී පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ එම නිලධාරියා විදේශගත වීමේ අරමුණින් එවැනි පැමිණිල්ලක් සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් බරපතළ සැකයක් ඇතිවී තිබෙන බවත් ඔහු එම සිද්ධිය පැමිණිලි කිරීමට මාස කීපයකට පෙර තම පවුලේ සාමාජිකයන් සමඟ විදේශගත වීම සඳහා අවසර ඉල්ලා තිබූ බවද පැවසීය .
විවිධ තර්ජනයන්ට ලක් වූ නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින බවත් ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ආරක්ෂා කිරීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් පැවසූ පොලිස්පතිවරයා එවැනි නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර තිබෙන බවද පැවසීය .
හමුදාවේ හෝ පොලිසියේ අවි පුහුණුව ලැබූ නිලධාරීන් අපරාධ කල්ලි විසින් කුලියට ගැනීම කාලයක සිට සිදුවෙමින් පවතින බවත් එවැනි සිද්ධීන් ඉදිරියේදී නැවැත්වීම සඳහා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු අදාළ බලධාරීන් සමග සාකච්ඡා කොට පියවර ගන්නා බවද පැවසීය .
පුද්ගලයෙකුගේ ගෞරවයට හා අභිමානයට කැළලක් වන යම් දෙයක් පොලිසිය විසින් සිදු කළේ නම් එවැනි සිද්ධියකදී අධිකරණය විසින් ලබාදෙන නියෝගයකට පොලිස් නිලධාරියා යටහත් විය යුතු බවත් ඉදිරියේදී පොලිස් නිලධාරීන්ගෙන් එවැනි දේ සිදු නොවීමට නීතිපතිවරයා සමගත් පොලිසියේ නීති දිශාවේ නිලධාරීන් සමගත් සාකච්ඡා කොට පොලිස් නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ඉදිරියේදී ලබාදෙන බවද නව පොලිස්පතිවරයා අවධාරණය කළේය .
විදේශගතව සිට අපරාධ මෙහෙයවන පුද්ගලයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා එම රටවල බලධාරීන් සමග සාකච්ඡා කරන බවත් එම රටවලින් කැඳවීම් ලැබුණ වහාම මෙරටින් පිටත්වීම සඳහා අපරාධ පරීක්ෂණ නිලධාරීන් කණ්ඩායමක් සූදානම් කොට තිබෙන බවද පැවසූ නව පොලිස්පතිවරයා එම අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීම වේගයෙන් කළ නොහැකි කටයුත්තක් බවද පැවසීය .