පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් තමාට සහ සිය පවුලට එල්ල වූ මරණ තර්ජන හමුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ඉකුත් 14 වනදා සිය පෞද්ගලික ආරක්ෂයන්ද සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොස් ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇත.
ඔහුට දුරකථන මාර්ගයෙන් මරණ තර්ජන එල්ල කළ පිරිස අතර ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන්, හීනටියන මහේෂ් සිටින බව දුමින්ද ජයතිලක මහතා පවසයි.
පසුගියදා අදුරුප්පුවීදිය පොලීසිය තුළදී සැකකරුවන් දෙදෙනකුට වස ලබාදීමේ සිද්ධියේ විමර්ශන සිදුකළේද පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමකි. විමර්ශනවලදී සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්වීමත් සමග නැවත පොලිස් පරීක්ෂකවරයාට මරණ තර්ජන එල්ලවී තිබුණි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා පසුගිය වසරේ වැඩිම මනුෂ්‍ය ඝාතන සැකකරුවන් පිරිසක් හා නීතිවිරෝධී ගිනි අවි හා අත්බෝම්බ වැඩිම ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් නිලධාරියා බව පොලිස් ආරංචිමාර්ග පවසයි.
හරක්කටා CIDයෙන් පලායෑමේ සිද්ධියේදී විමර්ශන සිදුකළ දුමින්ද ජයතිලක මහතා විසින් ඊට අදාළ සැකකරුවන් රැසක්ද අත්අඩංගුවට ගත් අතර ඔවුන් බහුතරයක් මේවන විටත් කොළඹ අපරාධ කොට්ඨාසයේ රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදුකෙරෙයි.
පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් එල්ලවන දැඩි තර්ජන නිසාවෙන් පොලිස් පරීක්ෂක දුමින්ද මහතාට සිය ආරක්ෂාවට සන්තකයේ තබාගැනීම සඳහා නිල ගිනි අවියක් ද නිකුත් කර තිබුණි.
ප්‍රංශයේ සිට ප්‍රකාශයක් කරමින් පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේ
"මට පහුගිය කාලය තුළ කොළඹ සිද්ධවෙච්ච සියලුම මනුෂ්‍ය ඝාතනවලට අදාළ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. ඒ විමර්ශනය කරලා. නමුත් මේ විමර්ශන දිගින් දිගටම කරගෙන යනකොට පාතාල කල්ලි සියල්ල අල්ලගෙන යනකොට මගේ ජීවිතයට සහ මගේ බිරිඳගේත්, දියණියගේත් ජීවිතවලට තර්ජනයක් ආවා. මං ඒවා නොතකා දිගින් දිගටම රාජකාරි කළා. අන්තිමට මම ලංකාවෙන් ආවේ 14 වැනිදා. එදා එනකොටත් මම ආදුරුප්පුවීදිය පොලිසියේ සැකකරුවන්ට වසදීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් කරලා ආවේ. මේ දිගින් දිගටම තියෙන තර්ජන හේතුවෙන් තමයි මම රටින් ආවේ. දැන් මම ලංකාවෙන් ආවත් මගේ දියණිය බිරිඳ මගේ නිල නිවාසයෙන් එළියට ගෙනල්ලා හංගලා තියෙන්නේ. එයාලගේ ජීවිතවලට ලොකු ප්‍රශ්නයක් තියෙන හින්දා. මම ඉල්ලා හිටින්නේ ඒ කට්ටියගේ ජීවිතවලට තර්ජනයක් නොවෙන ආකාරයෙන් එයාලව ආරක්ෂා කරලා දෙන්න කියලා. රටේ හරි ස්ථාවර තත්ත්වයකට ඇවිල්ලා නිවැරදි ගමන් මාර්ගයක් ඔස්සේ යනවනම් මට තව දශක දෙකකට වැඩි සේවා කාලයක් තියෙනවා. ඕනම වෙලාවක ලෑස්තියි ඇවිල්ලා රට වෙනුවෙන් වැඩකරන්න".
නමුත් මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහල් තල්දුව මහතා පවසන්නේ මේ සම්බන්ධව නිසි පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එම තර්ජනය කර දුන් ඇමතුම් සම්බන්ධ පරීක්ෂන කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.ඔහු පවසන පරිදි අපරාධ කොට්ඨාස අධ්යක්ෂවරයා වාර්තා කර තිබෙන්නේ මෙම සිදුවීම නිර්මාණාත්මක හෝ සැලසුම් සහගත දෙයක්ද යන්න තහවුරු කිරීමට අවශ්‍ය කටයුතු කරන බවත් මේ සම්බන්ධ පරීක්ෂණ පවත්වන නිලධාරීන් පවසන්නේ බොහෝ වෙලාවට මෙම නිලධාරියා (පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා) අතිශෝක්තියෙන් ඉදිරිපත් කරන ප්‍රකාශයක්ද සැක කරන බවයි.
කසුන් රණසිංහ