ඉන්දීය ණය ආධාර යටතේ උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර අතර කොටස නවීකරණය කිරීමේදී ආබාධිත සහිත පුද්ගලයන්ට ප්‍රවේශ පහසුකම් නොසලසා ආබාධිත පුද්ගලයින් නොසලකා හැර, එම දුම්රිය මාර්ගය නිසි ප්‍රමිතියකින් තොරව, ඉදිකර ඇති බවට චෝදනා කරමින් ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කල පෙත්සමක් සලකා බැලූ අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලින්ද හේවාවසම් මහතා ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු වගඋත්තර කරුවන්ට පෙබරවාරි මස 19 වන දින අනුරාධපුර මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කලේය.
මහාධිකරණ විනිසුරුවරයා මෙසේ නියෝග කලේ තලාව, පහළගම ලිපිනයේ පදිංචි ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ (ආ.කා.ස ) සභාපති එම්. ඩී. කමලාවතී මහත්මිය, නීතිඥ අමන්දා කල්පශාකා මෙනවියගේ උපදෙස් පරිදි, නීතිඥ ධනුක කුමාරවඩු සහ නීතීඥ ඉසුරු මහේෂ් පණ්ඩිත යන මහත්වරුන් මගින් අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කල රීට් පෙත්සමක් සලකා බලමිනි.
මෙම නඩුවේ වගඋත්තර කරුවන් ලෙස නම් කර ඇත්තේ ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා , අධිකාරීවරයා ඉංජිනේරු අධිකාරී (උතුර, අනුරාධපුර) සහ නීතිපතිවරයායි.
මෙම පෙත්සම මහාධිකරණයට ඉදිරිපත් කරමින් පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ, ඉන්දීය රජයේ ණය අධාර යටතේ වවුනියාවේ සිට මහව දක්වා දුම්රිය මාර්ගයේ කරන ලද සංවර්ධන කටයුතු වලට සමගාමීව මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීමේදී, 1996 අංක 28 දරන ආබාධිත සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ 25 වන වගන්තිය යටතේ සාදන ලද අති විශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද 2006 අංක 1 දරණ ( ප්‍රවේශ ) අනුගමනය කිරීමකින් තොරව අදාල දුම්රිය ස්ථාන සංවර්ධනය කර ඇති බවයි.
ඒ අනුව මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමේදී වග උත්තර කරුවන් ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත මුළුමනින්ම උල්ලංඝනය කර ඇති බවටද චෝදනා කල පෙත්සම්කාරියගේ නීතිඥවරුන්, මේ තුලින් වග උත්තරකරුවන් ආබාධ සහිත තැනැත්තන් නොසලකා හැර ඇති බවද කීවේය.
ප්‍රශ්න ගත දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමේදී වග උත්තරකරුවන් සිය නිල තනතුරට අදාල රාජකාරී පැහැර හැර ඇති බවටද චෝදනා කළ පෙත්ස්ම්කාරියගේ නීතිඥවරුන්, දුම්රිය මාර්ගයක් අළුත් වැඩියා කිරීමේදී ආබාධ සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට රාජ්‍ය නිලධාරින් නිල බලයෙන් බැඳී සිටින බවද අවධාරණය කලේය.
පෙත්සම්කාරියගේ නීතිඥවරුන් දැක්වූ කරුණු කෙරෙහි සිය අවධානය යොමු කල අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලින්ද හේවා වසම් මහතා විමසා සිටියේ, මධ්‍යම ආණ්ඩුවට අයත් විෂයක් සම්බන්ධයෙන්, මධ්‍යම ආණ්ඩුවේ අමාත්‍යවරයෙකුට හා බලධාරීන්ට නොතීසි නිකුත් කිරීමට සහ මධ්‍යම ආණ්ඩුවට අයත් විෂයක් සම්බන්ධයෙන් රීට් ආඥා නිකුත් කිරීමට පළාත් බද මහාධිකරණයට බලයක් තිබේද යන්නයි?
ඊට ප්‍රතිචාර දක්වමින් පෙත්සම්කාරියගේ නීතිඥවරුන් මහධිකරණය පවසා සිටියේ, 1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ 24 (1) සහ 24 (3) වගන්ති ප්‍රකාරව, ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වූ අවස්ථාවකදී ඊට අදාළව අධිකරණ බලය සහ සාධාරණ සහ යුක්ති සහගත ප්‍රතිකර්ම සහ සහන ලබා දීමට පළාත් බද මහාධිකරණයකට බලය පවතින බවය.
පෙත්සම්කාරියගේ නීතිඥවරුන් දැක්වූ සියලු කරුණු සලකා බැලූ අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලින්ද හේවාවසම් මහතා, ප්‍රවාහන මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා ඇතුළු වග උත්තරකරුවන්ට නියෝග කළේ, පෙබරවාරි මස 19 වන දින අනුරාධපුර මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.
පෙත්සම්කාරිය ස්වකීය පෙත්සම මගින් ඉල්ලා ඇති රීට් ආඥාව නිකුත් කිරීම සම්බන්ධයෙන් එදිනට සලකා බැලීමට නියමිතය.
පෙත්සම්කාර ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ සභාපතිනී එම්. ඩී. කමලාවතී මහත්මිය වෙනුවෙන් නීතිඥ ආමන්දා කල්ප ශාඛා මෙනවියගේ උපදෙස් මත නීතිඥවරුන් වන ධනුක කුමාරවඩු සහ ඉසුරු මහේස් පණ්ඩිත යන මහත්වරු පෙනී සිටියහ.
1996 අංක 28 දරණ ආබාධිත සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ ප්‍රතිපාදන අනුව මෙරට මහාධිකරණයක පැවරූ ප්‍රථම නඩුකරය වශයෙන් මෙම පෙත්සම ඉතිහාසගත වේ.