ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ 2018 ජනවාරි 01වනදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා වසර 05ක සාමාන්‍ය වාර්ෂික වියදම රුපියල් මිලියන 4,342ක් වුවද 2023 ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මස 31වනදා කාලසීමාව තුළ ප්‍රභූ ආරක්ෂක වියදම රුපියල් මිලියන 5,833ක් දක්වා වැඩි වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් ජූලි මස 26වන දින නිකුත් කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
ප්‍රභූ ආරක්ෂාව සැලසීමට අදාළ පොලිස්පතිගේ 2020 සැප්තැම්බර් මස 30වන දින අංක 2683/2020 දරන චක්‍රලේඛයට පරිබාහිරව මහජන ආරක්ෂක අංශයේ ප්‍රභූ ආරක්ෂාව සඳහා නිලධාරීන් අනුයුක්ත කිරීමේ කමිටුව විසින් ප්‍රභූ ආරක්ෂකයන් යොදවා තිබුණි.
මෙම කමිටුව විසින් හිටපු ආණ්ඩුකාරවරුන්, හිටපු මන්ත්‍රීවරුන්, හිටපු ප්‍රධාන අමාත්‍යවරුන්, ආගමික නායකයන් හා වෙනත් ප්‍රභූන් හා විවිධ තැනැත්තන් සඳහා අනුමත කරන ලද සීමාව ඉක්මවා ප්‍රභූ ආරක්ෂකයන් වසර ගණනාවක සිට අනුයුක්ත කර සිටින අවස්ථා පැවති බවද එම විගණන වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම මේ අයුරින් චක්‍රලේඛනයේ නියමයන් යටතේ ප්‍රභූ ආරක්ෂාව සැලසිය යුතු ප්‍රභූන් වෙතද අනුමත සීමාව ඉක්මවා ප්‍රභූ ආරක්ෂකයන් වසර ගණනාවක සිට අනුයුක්ත කොට තිබුණි. ඒ සඳහා පවතින නෛතික ප්‍රතිපාදන කවරේද යන්න විගණනයට අනාවරණය වී නොතිබුණි. එමෙන්ම චක්‍රලේඛයට පරිබාහිරව අනුයුක්ත කර සිටින නිලධාරීන් වෙනුවෙන් ගෙවා ඇති වැටුප් හා අතිකාල දීමනා, වියදම් ඇතුළු විශේෂ දීමනා පිරිමැසුම් දායක නොවන වියදම් බවද එම විගණන වාර්තාවේ සඳහන් වේ.
ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ යටතේ පවතින පොලිස් කොට්ඨාස 09 සඳහා 2022 ජනවාරි මස 01වන දින නිලධාරීන් 3,894දෙනෙකු අනුයුක්ත කොට සිටියහ. එහෙත් 2023 වර්ෂයේ සැප්තැම්බර් මස 30වැනි දින සිට අනුයුක්ත කළ නිලධාරීන් සංඛ්‍යාව 4,859ක් දක්වා වැඩි කර තිබුණි. ශ්‍රී ලංකා පොලීසිය සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික කාර්ය සාධන වාර්තාවක ඇතුළත් කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
චන්දන සමරවික්‍රම