රට පුරා පාසල් පද්ධතිය තුළ ඉංග්‍රීසි ,විද්‍යාව ගණිතය ,ඇතුළු ප්‍රධාන විෂයන් සඳහා ගුරුවරු 30,000කට ආසන්න සංඛ්‍යාවක පුරප්පාඩු පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙම පුරප්පාඩු සඳහා පියවරෙන් පියවර ගුරුවරු බඳවා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.
සෑම පළාත් සභාවකම ගුරු පුරප්පාඩු පවතින අතර පළාත් සභා පාසල් වලට ගුරුවරුන්ගේ පුරප්පාඩු පිරවීම පළාත් සභා අධ්‍යාපන ලේකම්වරයාට බලතල පැවරෙයි. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් ක්‍රමවේදයක් මගින් ගුරුවරු බඳවා ගැනීම සිදුකෙරේ. ජාතික පාසල් වලට ගුරුවරු සෘජුවම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් බඳවා ගැනීමෙන් පසුව ඒ පාසල් වලට පත් කිරීම සිදු කෙරේ.
දිවයිනේ ඇතැම් පාසල්වල වසර ගණනාවක් පුරාවට ගුරු පුරප්පාඩු පැවතීමෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වී ඇති බව විදුහල්පතිවරු පෙන්වා දෙති. අදාළ විෂයට ගුරු භවතා නොමැතිවීමෙන් ඇතැම් පාසල් වල සංවර්ධන නිලධාරීන්ට ද එම විෂය ඉගැන්වීමට සිදුවී තිබේ.
ගුරු පුරප්පාඩු පවතින පාසල් වල දරුවන්ගේ සාධන මට්ටම් බොහෝ සේ පහළ යෑමට හේතුව නිසි ක්‍රමවේදයක් නොමැතිව ඉගැන්වීම් කටයුතු සිදු නොවීම බව දෙමව්පියෝ චෝදනා කරති.
දිවයිනේ බොහෝ ප්‍රාථමික පාසල්වලටද ඉංග්‍රීසි විෂය ඉගැන්වීම සඳහා ගුරු හිඟයක් පවතින අතර මේ නිසා එම දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපන කටයුතු අඩාල වී ඇති බව දෙමව්පියෝ පෙන්වා දෙති. මේ සඳහා ඇතැම් කලාප කාර්යාලවල අධ්‍යක්ෂකවරුන්ගේ නිර්දේශයෙන් වෙනත් පාසලක ගුරුවරයකු අනුයුක්ත කිරීම සිදුකොට තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි වසර 10 ක සේවා කාලයේ සම්පූර්ණ කරන ලද ගුරුවරුන් මාරු කිරීම 2025 ජනවාරි මාසය තුළ සිදුකිරීමට සැලසුම් කොට ඇත. එහිදී සිදුවන්නේ එම ගුරුවරයා වෙනුවෙන් වෙනත් පාසලක ගුරුවරයකු මාරු කිරීම විනා අලුතෙන් ගුරුවරු එක් කිරීමක් නොවන බවද විදුහල්පතිවරු පෙන්වා දෙති
.
මේ නිසා කඩිනමින් නවක ගුරුවරුන් බඳවාගෙන පවතින ගුරු හිඟය ඉක්මනින්ම පියවා පාසල්වල අධ්‍යාපන මට්ටම ඉහළ තලයට ගෙන ඒමට බලධාරීන් කටයුතු කළයුතු විදුහල්පතිවරු මෙන්ම දෙමව්පියෝ පෙන්වා දෙති.
කමල් ශ්‍රී ලියනගේ