හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් බැහැදක පැයකට අධික කාලයක් රටේ දේශපාලන තත්ත්වය සහ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වත්මන් තත්ත්වය පිළිබඳව 18 වෙනිදා සවස සාකච්ඡාවක නිරත වූහ.
ඉදිරියේදී අනිවාර්යෙන්ම පළමුව පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් බවත්, කුමන පක්ෂ වටා ජනතාව පෙළ ගැසුනද රටේ ජනතාව රටට අවශ්‍ය පාලකයා හා ජනාධිපතිවරයා තීරණය කරනු ලබන්නේ මැතිවරණය අවසන් මොහොතේදී බව තමා අත්දැකීමෙන් දන්නා බවද, මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී සඳහන් කළේය.
නියමිත කාලයට පෙර තමා ජනාධිපතිධුරයෙන් ඉවත් නොවූයේ නම් පොළොන්නරු දිස්ත්‍රික්කයේ වර්තමානයේ අතරමග නතර වී තිබෙන, සංවර්ධන වැඩ කොටස් නිමා කිරීමට හැකියාව පවතින බවත්, ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙනුවෙන් යම් සංවර්ධන වැඩපිළිවෙළක් සිදු කිරීමට ඉතිරිව ඇත්නම් ඒ සඳහා ඕනෑම සහයෝගයක් ලබාදෙන බවද සිරිසේන මහතා මෙහිදී නාහිමියන් සමඟ සඳහන් කළහ.
තම පාලන සමයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පිරිවෙන් ශාලා පහළොවක් ඉදිකිරූ බවත්, ඉන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනය ඉදිකරන ලද පිරිවෙනට ප්‍රමුඛස්ථානය ලබා දුන් බවද සිරිසේන මහතා මෙහිදී සඳහන් කළේය.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ඉදිකරන ලද පිරිවෙන් ශාලාවට පැමිණ වාඩිවෙන තෙක් තමන් වහන්සේ නොදන්නා බවත්, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපති පාලන සමයේ, පොළොන්නරු දිස්ත්‍රික්කයේ මෙන්ම ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙනුවෙන් සිදුවූ සංවර්ධනය පිළිබඳ අගය කරන බවත්,අතරමග නතර වී තිබෙන ඉතිරි සංවර්ධන කටයුතු සිදු කිරීමට වත්මන් රජය පියවර ගත යුතු බවද රාහුලාලංකාර නාහිමියන් මෙහිදී සඳහන් කළහ.
මීට වසර 28 කට පෙර ත්‍රස්තවාදී ප්‍රහාරයකින් අපවත් වී වදාළ දිඹුලාගල නාහිමියන් සිදුකළ ආගමික ශාසනික ජාතික මෙහෙවරක් ඉදිරියේදී තවදුරටත් සිදු කරමින් අතරමග නතර වී තිබෙන දිඹුලාගල සත් මහල් සත්මහල් රාජයාණන් වහන්සේගේ වැඩකටයුතු ළඟදීම ආරම්භ කර බැවින්, ඒ සඳහාද රජයේ සහයෝගය දායකත්වය අපේක්ෂා කරන බවද දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් මෙහිදී සිහිපත් කළහ.
මනම්පිටිය නිමල් ජයරත්න