ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය 2024 පළමු කාර්තුවේදී ඇමරිකානු ඩොලර් බිලියනයක ආයෝජන ඉලක්කය සපුරා ගෙන ඇති ඇත. අදානි සමාගමේ ඇමරිකානු ඩොලර් මිලියන 820ක ආයෝජනය සහ ඇ.ඩො. මිලියන 320ක් වටිනා තවත් ව්‍යාපෘති ගණනාවක් ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්ගත වී තිබේ.
රජය මෙම වසර සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට ඇමරිකානු ඩොලර් බිලියන එකක ආයෝජන ඉලක්කයක් ලබා දුන්නත්, වසරේ මුල් කාර්තුවෙහිදී එම ඉලක්කය සපුරා ගැනීමට තම අමාත්‍යාංශය සමත් වූ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මෙම වසරේ ප්‍රථම කාර්තුවෙහි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ආයෝජන ගිවිසුම් ගත වූ ආයෝජකයන් හමු වූ අවස්ථාවේදීය.මෙහිදී එම ආයෝජකයන්ගේ ව්‍යාපාර පිළිබඳ පසුවිපරම් කිරීම සිදු කෙරුණු අතර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ගැටලු පිළිබඳවද සාකච්ඡා කෙරිණ.
මෙම අවස්ථාවට සහභාගි වූ ආයෝජකයන් පැවසුවේ තම ව්‍යාපෘති කෙටි කලක් තුළ ආරම්භ කරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බවයි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ දිලුම් අමුණුගම මහතා පැවසුවේ, පැමිණි ආයෝජකයන් සියල්ල තමා හා පවසා සිටියේ තම ව්‍යාපෘති බාධාවකින් තොරව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව නිසා බවයි.
ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් රේණුකා එම්. වීරකෝන් මහත්මිය අදහස් දක්වමින් සඳහන් කළේ, ආයෝජකයන්ට ඇතිවන ගැටලු සම්බන්ධයෙන් IFC ආයතනය (ආයෝජකයන් සඳහා පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානය) මේ වනවිටත් නිරතුරුව මැදිහත් වන බවයි. ආයෝජකයන්ගේ ගැටලු නිරාකරණය කරගත හැකි වන ලෙස සියලුම රේඛීය අමාත්‍යාංශ හා අනෙකුත් රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය IFC ආයතනයෙන් සිදු කරන බවද වීරකෝන් මහත්මිය සඳහන් කළාය.