හාලිඇල, උඩුවර, 6 කනුව, කැන්දගොල්ල පතන ප්‍රදේශයේ නිවසක් මතට අද (22දා) පස්වරුවේ පස්කන්දක් කඩා වැටීමෙන් ඊට යටවූ තරුණියන් දෙදෙනකු බේරාගෙන බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව හාලිඇල පොලීසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ කැන්දගොල්ල පතන ප්‍රදේශයේ පදිංචි ව සිටි ඒ.කීර්තිනා(අවු.21) සහ 22 හැවිරිදි තරුණියක බව පොලීසිය කීය .
පවතින අධික වර්ෂාවත් සමග මෙම තරුණියන් දෙදෙනා නිවසේ නිදන කාමරයේ ඇඳක් මතට වී සිටියදී පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ එක්වරම නිවස මතට පස්කන්දක් කඩා වැටී මොවුන් දෙදෙනා ඊට යට වී ඇති අතර , නිවැසියන් නිවසට පැමිණ බැලීමේදී නිවසේ නිදන කාමරයට පස්කන්දක් කඩා වැටී කාමරය පස්වලින් වැසී තිබෙන අයුරු දැක ඇතැයි පොලීසිය සඳහන් කළේය .
ඒ සමගම අවට වැසියන් එක් වී පස්වලින් වැසී තිබූ නිදන කාමරයේ දොර කඩා පස් ඉවත් කර ඔවුන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවද පොලීසිය සඳහන් කළේය.
බදුල්ල දිස්ත්‍රික්කයට මහ වැසි තව දුරටත් ඇදහැලෙමින් පවතින බැවින් නායයාමේ අවදානම් කලාපවල සිටින වැසියන් ඉතා විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
හාලිඇල පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
ඇල්ල - ප්‍රසාද් රුක්මල්/බදුල්ල - පාලිත ආරියවංශ/හල්දුම්මුල්ල - එස්.පී. නානායක්කාර