අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තුරු, පරාටේ නීතිය අත්හිටුවීමේ කැබිනට් තීරණය වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද සහතික විය. බැංකු අංශයේ තිබෙන බේරුම්කරණ කමිටුව ක්‍රියාත්මක තත්වයට පත්කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, පවතින පරාටේ නීතිය යටතේ ජනතාවගේ ඉඩම් ඇතුළු දේපළ වෙන්දේසි කිරීමට වාණිජ බැංකු කටයුතු කරමින් සිටින බවත්, එය වැළක්වීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බවත් සඳහන් කරමින්, විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
" ඒ නිසා අපි කැබිනට් මණ්ඩලයද ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව මුදල් අමාත්‍යතුමා හැටියට තීරණය කරා මේක කල්දාන්න ඒ අතරතුර වහාම සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගේන්න.
"මේ කියන දේ තමයි අපි සාකච්ඡා කරලා කැබිනට් මණ්ඩලයේ පැමිණි එකඟතාවය. ඒ අනුව මෙය තාවකාලික අත්හිටුවන්න මාස කිහිපයකට තීරණයක් අරන් තියෙනවා. ඒක කියාත්මක කිරීමට උදාවෙනවා."
(පරාටේ නීතිය - යම් දේපළක් බැංකුවට උකස් කර ණය මුදලක් ලබා ගත්විට, කුමන හෝ හේතුවක් මත ඔබට ඒ ණය මුදල සහ ඊට අදාළ පොලී මුදල නියමිත කාලවකවානුවේදී ගෙවීමට නොහැකි වුවහොත් හා ගෙවීම දිගින් දිගට ම පැහැරහැරියොත්, අධිකරණ ක්‍රියාවලියකින් තොරව ණය අය කරගැනීම සඳහා බැංකු වෙත බලයක් ලබාදී ඇති අතර, එහිදී බැංකුවට උකස් කළ දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා එයින්, අය විය යුතු ණය හා පොලී මුදල අය කරගැනීමට හැකියාව ලැබෙන නිතිය, පරාටේ නීතිය යනුවෙන් සරලව හැඳින්විය හැකියි.)