නීතියට අත නොතබන මුත් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු භේදයකින් තොරව අනිකුත් තැන්වලට අත තැබීමට පසුබට නොවන බව කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් හා ඉඩම් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.
රටේ පැවති දේශපාලන සංස්කෘතිය වෙනස්කර යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගා ගැනීමේ විශාල වුවමනාවක් ජනතාවට තිබුණු බවත් ලැබුණු ජනවරමට අනුව අදාළ වෙනස් කම් සිදු කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය .
කුමන හෝ වෘත්තියක නිරත කණ්ඩායමක් අපට අත නොතියා අනෙක් අයට අත තබා රට වෙනස් කිරීම සුදුසු යැයි සිතන්නේ නම් එය වරදක් බවත්, එසේ සිදුකර රට ගොඩනැගිය නොහැකි බව ඔවුන් තේරුම් ගත යුතු බවත් ඇමැතිවරයා පැවසුවේය.තමන් හමුවී සිදු කළ සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් අමතා ලාල්කාන්ත මහතා මේ බව පැවසීය.ඔහු වැඩි දුරටත් මෙසේද පැවසීය.
“අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කර යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගා ගැනීම වෙනුවෙන් අරගල ගොඩක් සිදු වුණා. ගෝල්ෆේස් අරගලය නමින් ක්‍රියාත්මක වූ පුරවැසි අරගලයත් ඒ අතරින් එකක්. එහි ප්‍රතිපලයක් ලෙස තමයි මාලිමාව බලයට ආවේ.දැන් අපි උත්සාහ කරනවා සමාජයේ පවතින තවත් දේවල් වෙනස් කරන්න. සමහරු හිතාගෙන ඉන්නවා දේශපාලනය හැදුවම ඔක්කොම හරි කියලා.
අපට වගකීමක් තිබෙනවා දේශපාලනය වගේම අනෙකුත් වෘත්තීන් හා එහි නියැලී සිටින අයගේ ආකල්ප වෙනස් කිරීම සඳහා මැදිහත් වෙන්න. ඒ මැදිහත්වීම කරනවිට ප්‍රශ්න පැන නගිනවා. රජයේ සේවකයන් කල්පනා කරනවා ඒ අයට අත නොතියා අනිත් අයට අත තියලා මේක හදන්න ඕන කියලා. බස් සංගම් නියෝජිත පිරිසක් කියනවා අපිට අත තියන්න එන්න එපා ඔයගොල්ලෝ අනිත් අයට අත තියලා රට හදන්න කියලා.
ජනමාධ්‍යවේදීන්, විශේෂයෙන් යූ ටියුබර්ස් ලා හා සමාජ මාධ්‍ය ජාලා පවත්වාගෙන යන අය කියනවා අපිට නම් අත තියන්න එන්න එපා අනිත් අයට අත තියලා රට හදනන්න කියලා. වෛද්‍යවරු කියනවා අපිට වෙනදා වගේ ඉන්න දෙන්න අනිත් අයට අත තියලා රට හදන්න ඒක ඔයාලගේ වගකීම කියලා. පොලීසියට අත තියන්නේ නැතුව මේ රට හදන්න කියලා පොලීසිය කියනවා.
මේ විදිහට ගියාම කාටවත් අති තියන්න බැහැ. මේ රට හදන්න නම් ජනමාධ්‍ය ධනාත්මකව විශේෂ වෙනස් වීමකට ලක්විය යුතුයි. මම පෞද්ගලිකව දන්නවා ජනමාධ්‍ය මගේ ජීවිතය සම්බන්ධයෙන් කියලා තියෙන පච කොච්චරද කියලා. ඕන නම් එකින් එක කියන්න පුළුවන්. අනිත් අයගේ ජීවත සම්බන්ධයෙනුත් ජනමාධ්‍ය මේ විදිහට වැඩ කරලා තියෙනවා. ජනමාධ්‍ය තුළ වගකීමෙන් හැසිරෙන අය මෙන්ම එසේ නොකරන විශාල පිරිසක් සිටිනවා . හැමතැනම එහෙමයි. අපිට අත තියන්න එපා අනිත් අයට අත තියලා වැඩ කරගන්න කියලා හැමෝම කිව්වොත් කාටවත්ම අත තියන්න වෙන්නේ නැහැ.
අපිට අත තියන්න ආවොත් වර්ජනය කරනවා කියලා සමහරු තර්ජනය කරනවා. කවුරුවත් නීතියට අත තියන්න එන්න එපා. අපි නීතිය ක්‍රියාත්මක කරනවා. ජනතාව අපිට බලය දුන්නේ ඒකටයි. අපි නීතියට අත තියන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අනිත් තැන්වලට අත තියනවා.”
ගම්පොළ -සුරංග දිල්හාන්