තමන්ට ඕනෑ ආකාරයට නීතිය නැවීමට හෝ වංගු දැමීමට නීතිය ක්‍රියාත්මක කරන්න පොලිස් නිලධාරීන්ට හැකියාවක් නැතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (02) පැවසීය.
මත්ද්‍රව්‍ය කිලෝ 200කට අධික ප්‍රමාණයක් ආනයනය හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කරන විමර්ශන විනිවිද භාවයෙන් තොර බවට සාධාරණ සැකයක් මතුව ඇතැයි පෙන්වා දෙමින් එසේ කී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා පූර්ණ වාර්තාවක් වහාම අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයාට වැඩිදුරටත් නියම කළේය.
ගාල්ලට ඈත මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 200ට අධික ප්‍රමාණයක් සමඟ පසුගිය ජුනි 15 වැනිදා අත්අඩංගුවට ගත් ධීවරයින් 06 දෙනෙකුට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතතුරුව මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කළ ඉල්ලීක් පිළිගනිමින් සැකකරුවන් ලබන 16 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමටද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විශේෂ මෝෂමක් මඟින් මෙම නඩුව කැඳවු අවස්ථාවේදී නඩුව කැඳවීමට නියමිතව තිබූ ඊයේ (01) නඩුව නොකැඳවා දෙ කැඳවීම සම්බන්ධයෙන් කරුණු විමසීමම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඩී. ජයරත්න මහතා අධිකරණයට කැඳවනු ලැබීය.
ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය් ස්ථානාධිපතිවරයා අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී ඔහු ඇමතූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ විමර්ශන වල ප්‍රගතිය ඊයේ (01) වාර්තා කිරීමට කටයුතු නොකළේ මන්දැයි විමසා සිටියේය.
ඊට පිළිතුරු දුන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඩී. ජයරත්න මහතා මේ සම්බන්ධයෙන් කටයුතු කරන විමර්ශන නිලධාරීන් සැකකරුවන් හා මත්ද්‍රව්‍ය එකවර අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම නිසා නියමිත දිනයේ කරුණු වාර්තා කරීමට නොහැකි වුයේ යැයි කීය.
ඒ අවස්ථාවේදී පොලිසියට තරයෙ අවවාද කරමින් අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත්වරයා අඩුම තරමින් පොලිස් නිලධාරියෙක් හෝ පෙනී සිටියේ නැති බවත් මත්ද්‍රව්‍ය කිලෝ දෙසීයකට අධික ප්‍රමාණයක් ජාවාරම් කිරීම ආනයනය කිරීම සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාල නඩුව කැඳවු අවස්ථාවේ පොලිස් නිලධාරියකු හෝ පෙනී නොසිට පසුදින මෝෂන් දැමීම පිළිබඳ අධිකරණයේ නොසතුට පළ කළ අතර මෙවැනි දේ සම්බන්ධයෙන් මින් පසු අවවාද නොකරන බවත් කෙළින්ම පොලිස්පතිවරයාට පැමිණිලි කරන බවත් දැනුම් දුන්නේය.
ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී. ජයරත්න මහතා සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරමින් ඔවුන් රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තා කැඳවීමට නියම කරන ලෙසත් ඉල්ලා සිටියේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අචිනි උමංගනා මහත්මිය කරුණු දක්වමින් තම සේවාදායකයින් පසුගිය 15 වැනිදා අත්අඩංගුවට ගත් බව පොලිසිය කීවත් ඔවුන් අත්අඩංගුවට ගත් බවට 14 වැනිදා ප්‍රධාන මාධ්‍ය වල කරුණු වාර්තා වන්නෙන් යැයි කීවාය.
බෝට්ටුවේ සඟවා තිබියදී මත්ද්‍රව්‍ය සොයා ගත් බව පොලිසිය කීවත් පොලිසිය අල්ලා ගත් කුඩු ප්‍රමාණය කොපමණද කියා නිවැරදිව මාධ්‍ය වල පළ වන බවත් කරුණු සහිතව පෙන්වා දුන් නීතිඥ අචිනි උමංගනා මහත්මිය පොලිසිය තම සේවාදායකයින්ට මෙම මත්ද්‍රව්‍ය තොගය හඳුන්වා දී ඇතැයිද කීවාය.
කුඩු තිබු බව කියන බෝට්ටුවේ හිමිකරු මත්ද්‍රව්‍ය කාර්යාංශයට ගෙන්නා ප්‍රකාශ සටහන් කරගෙන මුදා හළ ඔහු යළි හෙට දිනයේ කාර්යාංශයට කැදවා ඇතැයිද මෙම සිද්ධියට කිසිඳු සම්බන්ධයක් නොමැති ඔහුගේ වෑන් රථයද පොලිස් බාරයටට ගෙන ඇතැයිද නීතිඥ අචිනි උමංගනා මහත්මිය වැඩිදුරටත් කීවාය.
ඒ අවස්ථාවේදී ප්‍රකාශ සටහන් කරගත් පොලිස් නිලධාරීයා අධිකරණයට කැඳවු මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ අරගෙන බෝට්ටුවේ හිමිකරු මුදා හැරියේ ඇයි? බෝට්ටුවේ හිමිකරුගෙන් ගත් ප්‍රකාශය සාක්ෂි සම්පීඩනයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර තියෙනවද? යනුවෙන් විමසීය.
සාක්ෂි සම්පීඩනයේ එවැනි ප්‍රකාශයක් නැතැයි පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා අධිකරණය අමතමින් ‘සැකකාරයින්ට එන්න කියනවා ප්‍රකාශයක් ගන්නවා. ටිකක් බය කරනවා. යන්න කියනවා. ආපහු එන්න කියනවා. පොලිසිය එහෙම වැඩ තියාගන්න එපා. මේක අවවාද කරන අවසන් වතාව. මේවා අයථා පෙළඹවීම් වෙන්න පුළුවන්. විමර්ශනවල විනිවිද භාවයක් තියෙන්න ඕනේ. තමන්ට ඕන විදිහට නීතිය නමන්න බෑ. සැකකරුවෙක් නම් වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනේ’ යැයි කීය.
සිද්ධියට අදාළළව කරන වවිමර්ශන වල ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කිරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කළේය.