ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගය වසර 1 1/2ක කාලයක් ගතවනතුරුත් මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් නොදීමෙන් සිදුවූ අපහසුතාවයට නීතිපතිවරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතාගෙන් අද (30) සමාව ගත්තේය.
වනජීවී භාරයේ රඳවා සිටින හිලෑ අලි ඇතුන් සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව මීට වසර 1 1/2කට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගය පිළිබදව තම අධිකරණය දැනුවත් නොකළේ මන්දැයි අතිරේක මහේස්ත්‍රාත්වරයා විමසු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ ඩිලන් රත්නායක මහතා එසේ සමාව අයැද සිටියේය.
හිලෑ අලි ඇතුන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් හෝ එම පෙත්සමට අදාළව නියෝගයක් නිකුත් කර ඇති බව හෝ තමන් දැනුවත්ව නොසිටියේ යැයි කී ඩිලන් රත්නායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය දැනුම් නොදීමෙන් වූ ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයට නීතිපතිවරයා වෙනුවෙන් මෙන්ම පුද්ගලිකවද තමන් සමාව අයැද සිටියේය.
හීලෑ ඇලි ඇතුන් තිදෙනෙකු යළි තමන්ට බාරදෙන ලෙස ඉල්ලමින් අලි හිමියන් තිදෙනෙකු වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහිව පවරා තිබූ නඩුවක් කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා එලෙස මහේස්ත්‍රාත් අධිකරණයෙන් සමාව අයැද සිටියේය.