හිමි නමකගෙන් ඉඩම් නඩු දෙකකට පෙනී සිටීම සඳහා රුපියල් ලක්ෂ 44 ක ගාස්තුවක් ලබාගෙන නඩුවලට පෙනී නොසිටීමෙන් නීතිඥවරයා, නීතිඥවරයෙකුට නුසුදුසු ආකාරයට හැසිරී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, නීතිඥ සරත් ඩබ්ලිව් ද සිල්වා මහතා නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට ඊයේ (03දා) නියෝග කළේය.
ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු මෙවැනි ආකාරයේ ක්‍රියාවක් නොකළ යුතු බව තීරණය කරමින් ඔහු නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය, මාස 03ක් ඇතුළත රුපියල් ලක්ෂ 30ක වන්දියක් පෙත්සම්කාර හිමි නමට ගෙවීමටද නීතිඥ සරත් ඩබ්ලිව් ද සිල්වා මහතාට නියම කළේය.
දිවුලපිටිය වැල්ලව ශ්‍රී චන්දානන්ද හිමියන් ගොනු කර තිබූ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව නීතිඥ සරත් ඩබ්ලිව් ද සිල්වා මහතා නීතිඥවරයෙකුට නුසුදුසු ආකාරයට හැසිරී ඇති බවට තීන්දු කරමින් එලෙස නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තූරේරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මින්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම විභාග කෙරිණි.
සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් යුතුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තූරේරාජා මහතා තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
දිවුලපිටිය වැල්ලව ශ්‍රී චන්දානන්ද හිමියන් ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතිඥ සරත් ඩබ්ලිව් ද සිල්වා මහතා නම් කර සිටියේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තූරේරාජා මහතා විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ මෙසේ සඳහන් වෙයි.
පෙත්සම්කාර චන්දානන්ද හිමියන් කුරුණෑගල සහ මිනුවන්ගොඩ දිසා අධිකරණවල ඉඩම් නඩු දෙකක් පවරා තිබූ බවත් එම ඉඩම් නඩුවල තමන් වෙනුවෙන් පෙනී සිට කරුණු ඉදිරිපත් කිරීම සඳහා වගඋත්තරකාර නීතිඥ සරත් ඩබ්ලිව් ද සිල්වා මහතාට රුපියල් 44,50,000ක මුදලක් ගෙවා ඇතැයිද නඩු විභාගයේදී හෙළිවිය.
වගඋත්තරකාර නීතිඥවරයා හිමි නමගෙන් ගාස්තු වශයෙන් එලෙස මුල් ලබාගෙන ඇතත්, එම නඩුවලට පෙනී සිටීමක් හෝ නඩුවලට අදාළව කිසිදු ඉදිරි පියවරක් නොගැනීම නිසා හිමිනම මේ පිළිබඳ තොරතුරු දැනුම් දෙමින් නීතිඥවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පැවැති විභාගයේදී හෙළි වූ කරුණු අනුව වගඋත්තරකාර නීතිඥවරයා, නීතිඥවරයෙකුට නුසුදුසු ආකාරයෙන් කටයුතු කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු මෙවැනි ආකාරයේ ක්‍රියාවක් නොකළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය බව සඳහන් කළ විනිසරු මඬුල්ල වගඋත්තරකාර නීතිඥවරයා නීතිඥ ධුරයෙන් නෙරපා හැරීමට තීන්දු කළේය.පැමිණිලිකාර හිමිනම වෙනුවෙන් නීතිඥ නගීනා විජේසේකර මහත්මිය පෙනී සිටියාය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොහාන් සහබන්දු මහතා පෙනී සිටි අතර, නීතිපතිවරයා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නයෝමි කහවිට මහත්මිය පෙනී සිටියාය.