පසුගිය රජයේ අමාත්‍යවරයෙකු නීතිවිරෝධි අයුරින් අත්සන් කරන ලද E-8 වීසා ගිවිසුම නිසා වසර 20ට අධික කාලයක් පුරා විශාල ශ්‍රි ලාංකික තරුණ පිරිසකට හිමිවූ E-9 වීසා කාණ්ඩයේ රැකියා අහිමිවීමේ අවධානමක් ඇති වී තිබෙන බවත්, නීතිවිරෝධි වීසා බලපත්‍ර නීත්‍යානුකූල කිරීමට කිසිඳු හැකියාවක් නොමැති බවත් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
එසේම පසුගිය සමයේ තමන් විසින් හෙළිකල ගුවන් ටිකට්පත් වංචාවට සම්බන්ධවූ පිරිස් තමන් විසින් ආරම්භ කර ඇති වංචා දූෂණ පිළිබඳව විමර්ශනය කිරීමේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම සඳහා මෙවැනි අරගල සිදුකරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
දකුණු කොරියානු E-8 වීසා කාණ්ඩයේ සෘතුමය රැකියා සඳහා පුද්ගලික පාර්ශවයන්ට මුදල් ලබාදුන් පිරිස් බත්තරමුල්ල ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට සිදුකරන උද්ඝෝෂණ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
“ E-8 දිනාගැනීමේ අරගලයක් කියලා ඇතැම් පුද්ගලයින් හුවා දක්වනවා. නමුත් ඇත්තමට E-8 දිනාගන්න බෑ. මම අවස්ථා කිහිපයකදීම සඳහන් කළා E-8 කියන්නේ නිසි ක්‍රමවේදයෙන් පුද්ගලයින් විදේශ රැකියාවට යවන්න අනුගමනය කරපු ක්‍රමයක් නෙවෙයි. කිසිම විදිහට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පුද්ගලික විදේශ රැකියා නියෝජිතායතනයකට දකුණු කොරියාවේ සෘතුමය රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකරන්න අවසරය දීලා නෑ.
කාර්යාංශ පනත අනුව ශ්‍රමිකයෙක් විදේශ රැකියාවකට යනවා නම් අනිවාර්යෙන්ම කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගත යුතුයි. කාර්යාංශය විසින් E-8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබාදෙන්න කැබිනට් අනුමැතිය ගන්න යෝජනාවලියක කෙටුම්පතක් මැයි මාසේ 14 දින සකස් කරලා තියෙනවා.
ඒ අතරතුර දකුණු කොරියාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය ජූනි මාසේ 8 වෙනිදා කාර්යාංශයට ලිපියක් යොමුකරලා තියෙනවා කොරියාවේ වන්ඩු පලාතෙන් සෘතුමය රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවාගැනීම පහසුකරන මෙන් ඉල්ලා සිටිනවා කියලා. එම ලිපියට පිළිතුරක් වශයෙන් හිටපු සභාපතිතුමා යළි ලිපියක් යොමුකරනවා වන්ඩු පළාත සමග තිබෙන මෙම ගිවිසුම පිලිබඳව කාර්යාංශය දැනුවත් නෑ කියලා. ඒ අතර, කාර්යාංශයේ සාමාන්‍යාධිකාරීවරයාට, අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් ලිපියක් යොමුකරනවා E-8 වීසා කාණ්ඩය නීත්‍යානුකූල බවට පවසමින් චක්‍රලේඛනයක් නිකුත් කරන්න කියලා. සාමාන්‍යාධිකාරීවරයා චක්‍රලේඛනයක් නිකුත් කරනවා මෙම රැකියාවලට යනවානම් විධිමත් රැකියා ගිවිසුමක් අවශ්‍යයි, රැකියා ඇණවුම තානාපති කාර්යාලය මගින් සහතික කළ යුතුයි කියලා.
එහෙම ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන අතරතුර, වන්ඩු පළාත සමග ගිවිසුමක් අත්සන් කරලා කියලා කටකතාවක් ප්‍රචාරය වෙනවා. හිටපු අමාත්‍යවරයෙක් කැබිනට් අනුමැතිය ලබාගන්නත් පෙර, රජයේ කිසිඳු අනුමැතියකින් තොරව පෞද්ගලිකව ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඇමතිවරයාත් එක්ක තියෙන සම්බන්ධකම් උඩ බාහිර පුද්ගලයින් තරුණයින්ව පුහුණු කරලා රැකියා සඳහා යවන්න සූදානම් කරලා තියෙනවා. මේක ඇත්තමට බැලුවොත් මිනිස් වෙළදාම් ගණයට ඇතුළත් වෙන වරදක්. මේ සම්බන්ධයෙන් අපි දැඩි ක්‍රියාමාර්ග අරගන්නවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම අභ්‍යන්තර විගණන පරීක්ෂණයකුත් සිදුකරනවා.
අපි ඉල්ලා සිටිනවා රැකියා අපේක්ෂිතයින්ගෙන් මේක ඉතාම නීතිවිරෝධි ක්‍රියාවක්. මේකට අහුවෙන්න එපා. අපිට කිසිලෙසකිත්වත් මේක අනුමත කරන්න බෑ. කවුරුහරි හිතනවා නම් මේ ලැබුණු රැකියා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නතර කරගෙන ඉන්නවා කියලා එහි කිසිඳු සත්‍යතාවක් නෑ. වීසා ලැබෙනවා කියන්නේ අවසාන පියවර. විදේශ සේවා නියුක්ති කාර්යාංශය නොදැන වීසා ලැබෙන්න විදිහක් නෑ. ඒ වගේම එහෙම ලැබුණා කියලා විශාල මුදල් අයකරලා තියෙනවා.
අපි දැක්කා ඊයෙත් මුදල් ලබාගත්ත අයගේ නිවෙස් වටලලා තියෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතියකින් තොරව විදේශ රැකියා ලබාදෙන්න මුදල් අයකරන්න බෑ කාටවත්. අමාත්‍ය විජිත හේරත් මහතාත් අපිට උපදෙස් දුන්නා මේ දේවල්වලට කවුරුහරි මැදිහත් වෙලා තියෙනවා නම් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. නව රජය කිසිලෙසකින්වත් අරගල කරනකම් ගැටළුවක් දුරදිග ගෙනියන්නේ නෑ. මේක කිසි ලෙසකින්වත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
වසර 20ක විතර කාලයක් තිස්සේ නීත්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කරමින් අපි E-9 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියාවලට යොමුකරනවා. ඒ යටතේ වසරකට 6000 ක පමණ රැකියා අවස්ථා අපිට ලැබෙනවා. මේ වන විට ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 30000ක් විතර ඒ රටේ ඉන්නවා. ලෝකයේ රටවල් රැසකින් ශ්‍රමිකයින් දකුණු කොරියාවට ගත්තට ලංකාව අනුගමනය කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් ඒ රටේ විශාල පැහැදීමක් තියෙනවා.
මේ E-8 වීසා ගැටළුව හේතුවෙන් E-9 වීසා කාණ්ඩය යටතේ හිමිවන රැකියාවලටත් ගැටළුවත් ඇතිවීමේ අවධානමක් තියෙනවා. සෘතුමය රැකියා හිමිවෙන්නේ මාස 5-7 අතර කාලයකට. දල වශයෙන් රුපියල් ලක්ෂ 7ක වැටුපක් ලැබුණත් ලක්ෂ 35ක වගේ වැටුපක් තමයි හිමිවෙන්නේ. ඒ රැකියා ලබාගන්න පුද්ගලික කණ්ඩායම්වලට ලක්ෂ 12.18,20 වගේ විශාල මුදලක් ගෙවලා අතට ලැබෙන දෙයක් නෑ. යාමට ඒමට ගුවන් ටිකට්පතත් මිළදී ගන්න ඕනි. ඒ අය අනිවාර්යෙන් කරන්නේ ඒ රටට ගිහින් පනිනවා. මේ තැරැව්කාර කණ්ඩායම් උපදෙස් දෙන්නේ මාස 5 ඉවර වුණාම හොරෙන් පැනලා අවුරුදු 5-6 ක් ඉන්න පුළුවන් කියලා. මේ තත්වය අනිවාර්යෙන් බලපානවා නීත්‍යානුකූලව දකුණු කොරියාවේ සේවයට යන්න සූදානම්ව ඉන්න ශ්‍රමිකයින්ට. කොරියානු බලධාරීන් අනිවාර්යෙන් මේ රැකියා කෝටාව අඩුකරන්න කටයුතු කරනවා.
අපි E-8 වීසා වංචාවට හසුවුණ අයගෙන් ඉල්ලා සිටින්නේ ඔබගෙන් මුදල් ලබාගත් පුද්ගලයින් පිළිබඳව අපිට තොරතුරු ලබාදෙන්න. රටේ ජනතාව මේ වංචාව සම්බන්ධවෙන් දැනුවත් කරන්න. මේ වංචාව නතර කරන්න අපිට උදව් කරන්න. ඒ සියළු පුද්ගලයින්ට අපි රටේ නීතිය අනුව දඩුවම් කරන්න සූදානම්.” යනුවෙන් ප්‍රකාශ කළේය.