හුස්ම ගැනීමේ අපහසුතාවයක් නිසා හදිසියේ නිවසේ දී මියගිය යක්කලමුල්ල පොල්පාගොඩ ප්‍රදේශයේ එක් දරුපියෙකුට සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයේ දී කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙනියආරච්චි මහත්මිය සඳහන් කළාය.
මොහුට නිවස තුළදි එකවරම පපුවේ දැවිල්ලක් ඇතිවි වමනය කොට ඇත. පසුව ක්ලාන්ත වි ඇදවැටි තිබේ. මෙකි දරුපියා නිවස තුළ දි මියගොස් ඇති අතර පසුව කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙනවිත් සිදුකළ පී.සි.ආර් පරික්ෂණයේ දී කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (01) පස්වරුවේ දි තහවුරු වි ඇත.
මියගිය පුද්ගලයා අලුත් අවුරුද්දට තම බිරිඳ හා පුතු සමග බදුල්ලේ ගොස් 26 වැනි දින නිවසට පැමිණ ඇත. ඉකුත් 30දා මොහු නිවසේ සිට කිලෝමිටර් එකහමාරක් දුරින් පිහිටි බිරිඳගේ සහෝදරියකගේ නිවසට ගොස් ඇත.
පසුව නිවසට පැමිණ එදින රාත්‍රි ආහාරය ගෙන නින්දට ගොස් ඇත. අලුයම 3.30ට පමණ ඔහු පපුවේ දැවිල්ල බව තම බිරිඳට පවසා ඇත. බිරිද වතුර විදුරුවක් ලබාදී ඇති අතර ටික වෙලාවකින් වමනය දමා තිබේ.
පසුව ක්ලාන්තයක් ඇතිවී නිවසේ ඇද වැටී මියගොස් ඇත. කොවිඩ් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් ඔහු මියගොස් ඇති බව පශ්චාත් මරණ පරික්ෂණයේ දී අනාවරණය වී ඇත.