රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් අපි ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
දැනට පෙනේනට තිබෙන කරුණ කාරණා අනුව ජාතික ජනබලවේගය විසින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පෙන්වු මාර්ගයේ ගමන් කරනා බවත් එසේනම් අපි ඊට විරුද්ධ නොවිය යුතු බවත් ඒ මහතා පැවසීය.
වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ පසුගිය ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති තරුණ හමුවකට එක්වෙමිනි.
"එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානය රනිල් වික්‍රමසිංහ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරමින් නාම යෝජනා මණ්ඩලය රැස්වෙමින් තිබෙනවා. මේ සතිය මැද වනවිට එහි සියලු කටයුතු අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහය දක්වපු පිරිස සිලින්ඩරය ලකුණ යටතේ තරඟ කිරීමටත්, වන්නි දිස්ත්‍රික්කයට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයට අලියා ලකුණ යටතේ තරඟ කරන්නත් සාකච්ඡා වෙමින් තිබෙනවා.
අද ඇතැම් අය එකමුතුවීමක් ගැන කතා කරනවා. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා එකතු වෙමු කියලා කිව්වේ රට බංකොලොත් වුණු අවස්ථාවේමයි. අද එකතු වෙන්න කතා කරන අය එදත් ඒ වගකීම පැහැර හැරියා. සියලුදෙනාවම එකම කාරණයකට එකඟ කරවා ගැනීම ලෙහෙසි කාර්යයක් නෙමෙයි. නමුත් කෙසේ හෝ අපි ඒ සඳහා ක්‍රියා කළ යුතුව තිබෙනවා.
ජාතික ජනබලවේගයට මේ වනවිට අභියෝගයක් තිබෙනවා ඔවුන් පසුගිය ජනාධිපතිවරණයෙන් සියයට 42 ක් ලබාගත් නිසා කෙසේද සියයට 50 ඉක්මවා ඔවුන්ගේ ඉලක්ක සම්පූර්ණ කරගන්නේ කියලා. ඒ අය ඉදිරිපත් කර තිබෙන ඒ අයගේ ජාතික ප්‍රතිපත්ති රාමුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉදිරිපත් කර තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පාර්ලිමේන්තුවේ ඉදිරිපත්කර තිබෙන සියලුම බිල්පත්, ඔවුන් පිළිගන්නා බව මේ අවස්ථාවේදී අපිට පෙනී යනවා.
උදාහරණයක් විදිහට ගත්තම ආර්ථික පරිවර්තන පනත, ණය නැවත ප්‍රතිව්‍යුහගත කර නැවත ගෙවීමේ පනත, ඒ වගේම මහබැංකුව පිළිබඳව ගෙන තිබෙන පනත, ඒ වගේම කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත සහ දූෂණ විරෝධී පනත ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණු අඩුපාඩු පාලනය කිරීම සඳහා ගෙන තිබෙන ජාතික අයවැය කාර්යාලය නැමැති නව නීති පද්ධතිය ඔවුන් සම්පූර්ණයෙන්ම පිළිගනිමින් ඉදිරියට යමින් තිබෙනවා.
ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආරම්භ කරන ලද ජාතික වැඩසටහන ඉදිරියට ගෙනයනවා නම් අපිට ඒ දෙස බලන්නට තිබෙන්නේ එක විදිහකට. එය වෙනස් කරනවා නම් ඒ දෙස බලන්න තිබෙන්නේ තවත් විදිහකට. ඒ නිසා තම එයට කාලය නොවෙයි. නමුත් දැනට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගිය අඩිපාරේ ඔවුන් ගමන් කරන බව ඉතා පැදැදිලිව පෙනෙන්නට තිබෙන කාරණයක් බව කිව යුතුයි. ඒ නිසා ඒ සඳහා අපිට විරුද්ධ වීමට හේතුවක් නැහැ.
ඒ වගේම මේ වනවිට සමාජ මාධ්‍ය තුළ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වියදම් පිළිබඳව විවිධ සාවද්‍ය ප්‍රකාශ සංසරණය වන බවක් අපට දක්නට තිබෙනවා. ඒ පිළිබඳව මම මගේ කණගාටුව ප්‍රකාශ කර සිටිනවා. මක් නිසාද අපේ රටේ ජනතාව මේ වගේ පහත් දේශපාලන තත්ත්වයන්ට පත්වීම ඇත්තටම කණගාටුවට කරුණක්.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන්ගේ නිවස ගිනිබත් කලාට පස්සේත් එතුමා ජනාධිපති මන්දිරය හෝ අගමැති මන්දිරය තෝරාගෙන එතුමාගේ වැඩකටයුතු සිදුකළේ නැහැ. එතුමා ජනාධිපති මන්දිරයට ගමන් කරානම් ඒ ගමන් කළේ රටට යම් කිසි රාජ්‍ය නායකයෙක් පැමිණි විටක පමණයි.
මම දැක්කා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ වෙනත් කාරණා බද්ධ කරමින් අපහාස කිරීම් සිදුවෙනවා. උදාහරණයක් විදිහට මම දැක්කා කජු සම්බන්ධ කාරණයක්. කජු සම්බන්ධයෙන් වරායේ හෝ වෙනත් අමාත්‍යංශයක පාර්ලිමේන්තුවේ කාරක සභාවක තිබුණු ඒ වොයිස් කට් අරගෙන ඒවා සංස්කරණය කරලා ඒවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන් විසින් ගන්නා ලද කජු කියලා පෝස්ට් ශෙයාර් කරනවා.
ඒ වගේම එතුමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රධානියා විසින් නිකුත් කරන ලද ලිපියට අනුව ඒ දෙස බැලුවොත් උදාහරණයක් විදිහට ත්‍රිවිධ හමුදාවන් තුළ ඉන්න විවිධ පුද්ගලයන්ගේ නාමය විවිධ ආකාරයෙන් තිබෙන්නට පුලුවන්.
උදාහරණයක් ලෙස රියදුරෙක් හැටියට තිබෙන්න පුලුවන්. විදුලි කාර්මිකයෙක් ලෙස තිබෙන්න පුලුවන්. වෙනත් නාමික තනතුරක් ඔස්සේ තිබෙන්න පුලුවන්. නායකයෙක්ගේ ආරක්ෂාව සඳහා තෝරා ගැනීමේදී බුද්ධි අංශය විසින් ලබාදෙන වාර්තා අනුව ඒ අය තෝරා ගැනීම සිදුකරනවා. එවිට ඒ අයගේ තිබුණු තනතුර අරක්කැමියන් 15 ලෙස සටහන් කිරීම කණගාටුවට කරුණක්. නමුත් බුද්ධි අංශ ලබාදෙන තීරණ අනුව ප්‍රධානියෙක්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කර තිබෙනවා.
මේ රටේ සියලු දෙනා මතක තබාගත යුතු අනික් කාරණාව නම්, නිදහසින් පසු ආව සෑම රාජ්‍ය නායකයෙක්ම අකල් මරණවලට ගොදුර කර තිබෙනවා. එසේත් නැතිනම් ඔවුන්ව අකල් මරණයකට ගොදුරු කරන්න උත්සාහ කරලා 99 න් බේරිලා තිබෙනවා. මම මේ කාරණාව සෑම අවස්ථාවකදීම කියලා තිබෙනවා. එසේනම් එවැනි රටක නායකයින් ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් කියලා සියලු පාලකයින් තරයේ මතක තබාගත යුතුයි."