ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ශව තුනක් අයිතිවාසිකම් කියන බැවින් එහි සැබෑ නියෝජිතයන් කවුරුන්ද යන්න ජනතාවට ප්‍රශ්නයක් වී ඇති බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බුටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් පැවසූහ.
අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් පෙරේදා (26) මල්වතු මහා නා හිමියන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර සිටියේ පක්ෂයේ සැබෑ අයිතිකරුවන් කවුද යන ප්රශ්නය නිරාකරණය කරගත යුතුව තිබෙන්නේ අධිකරණය මගින් පමණක් බවයි.
පක්ෂ ව්‍යවස්ථාවක් තිබෙන බැවින් අධිකරණය මගින් ඉදිරියේදී සාධාරණ තීන්දුවක් ලබාදෙනු ඇතැයි ද උන්වහන්සේ එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
එහිදී අදහස් දක්වමින් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේ වෙනම දේශපාලන පක්ෂයක් සමග ගමන් කළ යුතු යැයි සිතන පිරිසක් අධිකරණයට ගොස් වාරණ නියෝගයක් ලබාගෙන තිබෙන බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ සාමාජිකයන් 116 දෙනෙකු ඒකමතිකව වැඩ බලන සභාපති ලෙස තමන්ම තෝරාගත් බව අවධාරණය කළ අමාත්‍යවරයා ඒකපාර්ශවීය ලෙස ගොස් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව වාරණ නියෝගයක් ලබාදී තිබෙන බවත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවද පැවසීය.
සැඟවුණු න්‍යාය පත්‍ර හා යටි අරමුණු තිබෙන කණ්ඩායමක් විසින් විවිධ සැලසුම් සකස් කරමින් තිබෙන බව අවධාරණය කළ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන පක්ෂයක් ලෙස තීන්දු තීරණ ගනු ලබන්නේ බහුතර කැමැත්ත මත පමණක් කියයිද පැවසීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුෂ්‍යන්ත මිත්‍රපාල, සරත් ඒකනායක, සජින් ද වාස් ගුණවර්ධන, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ .