නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීමට රජය විසින් ක්‍රියාත්මක යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (29) දින මිහින්තලය සහ ඔයාමඩුව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදා නිවාඩු නිකේතනයන්හි නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ලෙස ස්ථාපිත කරන ලදි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මිහින්තලය සහ ඔයාමඩුව ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයන් දෙකක් නිරෝධායන කටයුතු සඳහා මෙසේ සූදානම් කරන ලද අතර, ඒ අනුව මිහින්තලය නිරෝධායන මධ්‍යස්ථානය තුල පුද්ගලයින් 100 දෙනෙකුටත් ඔයාමඩුව නිරෝධායන මධ්‍යස්ථානය තුල පුද්ගලයින් 24 දෙනෙකුටත් නිරෝධායන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දී ඇත.
තවද, මෙම නිරෝධායන මධ්‍යස්ථාන වෙත පැමිණෙන පුද්ගලයින් හට අවශ්‍ය සනීපාරක්ෂකද්රව්ය, අන්තර්ජාල පහසුකම්, රූපවාහිනී, විදුලි පංකා, ආදී සියලු පහසුකම් ලබාදීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇති අතර, නාවික හමුදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ නාවික හමුදා සූපවේදීන් විසින් පිසින ලද පෝෂ්‍යදායි ආහාර නිරෝධායන මධ්‍යස්ථාන වෙත පැමිණෙන්නන් හට ලබා දීමටද අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇත.