ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 548 (දල වශයෙන් කි.මී 985 පමණ) දුරකින් වු ගැඹුරු මුහුදේදී රාජ්‍ය ධජ හිමි නැති (Flag Stateless) විදේශිය යාත්‍රාවක් නිරීක්ෂණය කර එය සෝදිසි කිරීමේදී හෙරෝයින්කි.ග්රෑ 260 සහ අයිස් කි.ග්රෑ 56 සමඟ ඉරාන ජාතිකයින් බවට සැක කරන පුද්ගලයින් 7 අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව නිවේදනය කරයි.
මෙම අත්අඩංගුවට ගැනීම මෙම අවුරුද්ද තුළ මෙයට පෙර ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද යාත්‍රා 3හි සිටි පුද්ගලයින්ගේ ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මෙන්ම ජාත්‍යන්තර තොරතුරු හුවමාරුව, චන්ද්‍රීකා දුරකථන වල දත්ත විශ්ලේෂණය කිරීමේදී අනාවරණය වු කරුණු මත ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කල මෙහෙයුමක ප්‍රථිපල වේ.
එම විශ්ලේෂණයන් මත මාර්තු මස 30 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු අවේක්ෂණ නෞකාවක් දින 14ක සාගරික මෙහෙයුමකට අදාල මුහුදු ප්‍රදේශය වෙත යොමු කරන ලදී.
දින 2 ක ගමනකින් පසු නෞකාව සමකය පසුකර කලින් හදුනාගත් මුහුදු ප්‍රවේශ මාර්ගයන් දින 09 ක් පුරාවට නිරීක්ෂණය කර 10 වන දිනයේදී (2020 අප්‍රේල් මස 10 වන දින උදැසන 1100 පැයට පමණ) මත්ද්‍රව්‍ය රැගෙන එමින් තිබු විදේශීය යාත්‍රාව සොයා ගන්නා ලදී. මෙම මුහුදු මෙහෙයුමේදී චන්ද්‍රිකා ජායාරෑප ද ජාත්‍යන්තර සහයෝගය මත ලබාගත් අතර, එම දත්තයන්ද විශේෂයෙන් මෙම ප්‍රවේශ මාර්ගයන් තහවුරු කර ගැනීමට පිටුවහලක් විය.
මෙම මත් ද්‍රව්‍ය කෝටි 327 ක් පමණ වටිනාකමකින් යුක්ත වන බවට තක්සේරු කර ඇති අතර, මෙම තොගයද සමඟ මේ වසරේ පමණක් දැනට ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් ගැඹුරු මුහුදේදී අත් අඩංගුවට ගත් මත් ද්‍රව්‍ය ප්‍රමාණය හෙරෝයින් කි.ග්රෑ 687 ක්, අයිස් කි.ග්රෑ 795 ක් සහ කැටමයින් කි.ග්රෑ 579 ක් වශයෙන් සටහන් වේ.