නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ආපනශාලා බත් පතේ හූනකු තැම්බී සිටියදී රෝගියෙකුට හමුවී තිබේ.
රෝහලේ 2 වාට්ටුවේ සිටි රෝගියෙකු ඊයේ (15දා) උදෑසන එහි ආපන ශාලාවට ගොස් බත් එකක් රැගෙන අනුභව කරමින් සිටියදී මෙම තැම්බුණු හූනා දැක තිබේ.
එම රෝගියා ඒ පිළිබඳව රෝහල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කර ඇති අතර රෝහල් අධ්යක්ෂ ජානක සෝමරත්න මහතාටද සිද්ධිය වාර්තා කර තිබේ.
මේ වන විට රෝහලේ කාර්ය මණ්ඩලය හා රෝගීන් විශාල ප්‍රමාණයක් මෙම ආහාර අනුභව කර ඇති බවද හෙළි වී තිබූ අතර සිද්ධිය පිළිබඳව රෝහල් මහජන සෞඛ්‍ය පරීක්ෂක ටී.බී.අයි.වෑකඩපොළ මහතාගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ මෙම සිද්ධිය පිළිබඳව තමාට කිසිවක් කිව නොහැකි බවය.
නාවලපිටිය මහජන සෞඛ්‍ය පරික්ෂක නුවන් කැකුළන්දර මහතා ද මෙම සිද්ධිය පරීක්ෂා කර ඇති අතර රෝහල් අධ්යක්ෂවරයාගෙන් මේ පිළිබඳව විමසීමට රෝහල් දුරකථන හුවමාරුව වෙත ගනු ලැබුවද එම ස්ථානයෙන් අධ්යක්ෂවරයා වෙත එම ඇමතුම ලබාදිය නොහැකි බව පැවසීය.පසුව රෝහල් අධ්යක්ෂවරයාගේ ජංගම දුරකථනයට ඇමතුම් ගනු ලැබුවද ප්‍රතිචාර නොලැබිණි.
ගම්පොළ -සුරංග දිල්හාන්