රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි අධි චෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හිටපු අමාත්‍යවරයකුද වන ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක රාජපක්ෂ මහතාගේ ඇඟිලි සළකුණු වාර්තා කැඳවීමටද නියම කළේය.
රුපියල් ලක්ෂයක මුදල් සහ රුපියල් කෝටිය බැඟින් වූ ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත විත්තිකරු මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය මාර්තු 27 වැනිදා පැවැත්වීමට තීරණය කළේය.
දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා 2016 වසරේදී කළ පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කළ දීර්ඝ විමර්ශන වල උධෘත පරීක්ෂා කිරීමෙන් අනතුරුව නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා ඇත.
අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මීට පෙර අවස්ථාවක අධිකරණයෙන් නිකුත් කළ සිතාසියට අනුව නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතාට අධිකරණයේ පෙනී සිටියේය.
ඒ අවස්ථාවේදී විත්තිකරුට එරෙහි අධිචෝදනා පත්‍රය විවෘත අධිකරණයේදී ඔහුට බාර දුන්නේය.
මෙරට රගර් ක්‍රීඩාව නගා සිටුවීම සදහා ක්‍රිෂ් ලංකා නැමැති ඉන්දියානු සමාගමක් විසින් පරිත්‍යාග කළ රුපියල් මිලියන 70කට ආසන්න මුදලක් එම ක්‍රීඩා කටයුත්තට යොදා නොගෙන අවභාවිත කළ බවට නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව අධිචෝදනා නඟා ඇත.
මෙම නඩුවට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වාගෙන ගිය නඩු ගොනුව මහාධිකරණයට ලැබී ඇති බව විනිසුරු මංජුල තිලකරත්න මහතා ප්‍රකාශ කළේය.
විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතීඥ මඩුල්ලක් සමඟ පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු දක්වමින් අධිකරණයෙන් නිකුත් කළ සිතාසියකට අනුව පෙනී සිටින තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිරටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා කරුණු දක්වමින් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දින නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
කරුණු සළකා බැලීමෙන් අනතුරුව විත්තිකරුට ඇප නියම කළ විනිසුරුවරයා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නඩුව මාර්තු 27 වැනිදා කැඳවීමට නියම කළේය.
නඩු කටයුතු අවසන් වීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතා මහාධිකරණ පොලිස් මුරපොළට කැඳවාගෙන ගොස් ඔහුගේ ඇඟිලි සළකුණු ලබා ගත්තේය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ එදින අධිකරණයේ පෙනී සිටින ලෙසද විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.
පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිරටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතීඥ මඩුල්ලක් සමඟ ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා පෙනී සිටියේය.
සචිත්ර ගුණසේකර