ජනතාව අපහසුතාවට පත් නොවන පරිදි විදෙස් ගමන් බලපත්‍ර ලබා දීමට වහාම ක්‍රියාමාර්ග ගන්න - විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ආගමන හා විගමන පාලක ජනරාල්වරයාට දැනුම් දෙයි
නව “ආගමන” පනත් කෙටුම්පත සඳහා කාරක සභාවේ අනුමතිය…
මිනිස් අවහරණය (Human Smuggling) සදහා ප්‍රථම වරට මෙම නව පනත් කෙටුම්පත මගින් නව නීති...
ජනතාව අපහසුතාවට පත් නොවන පරිදි විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා විසින් ආගමන හා විගමන පාලක ජනරාල්වරයාට පසුගියදා දැනුම් දෙන ලදී.
නව “ආගමන” පනත් කෙටුම්පත සලකා බැලීම සදහා විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කැඳවා තිබූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු විය.
මෙහිදී අදහස් දක්වමින් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ 2023 වසරේ ගමන් බලපත්‍ර දස ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර තිබුන ද විදේශගතව තිබුනේ ඉන් 23%ක් පමණක් බවත් ඉතිරි 77% විදෙස් ගමන් බලපත්‍ර භාවිතා කර නොමැති බවත්ය.
එසේම ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රය (E-Passport) ඉදිරි ඔක්තොම්බර් මස අගවන විට හදුන්වාදීමට නියමිත බැවින් ඇතැම් රටවලින් නව ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රය ඉල්ලාසිටීමට ඉඩකඩ ඇති බවත් ඒ අනුව අත්‍යවශ්‍ය නොවන පිරිසට ගමන් බලපත්‍ර ලබාගැනීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය .
මෙහිදී කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ මේ පිළිබඳව හැකිතාක් ජනතාව දැනුවත් කිරීම සිදුකළ යුතු බවයි. එහෙත් මුදල් ගෙවා ගමන් බලපත්‍ර ලබා ගැනීම ජනතාවගේ අයිතියක් බැවින් ජනතාව අපහසුතාවට පත් නොවන පරිදි ඉල්ලුම් කරන ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වගකීමක් බව ද කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය. එසේ නොවුනහොත් දෙපාර්තමේන්තුව මෙන්ම රජය ද ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්වීම වැළැක්විය නොහැකි බව ද කාරක සභා සභාපති ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා පෙන්වා දුන්නේය.
එසේම ඉන්දියාවේ සහ නේපාලයේ සංචාරය කරන බැතිමතුන්ට විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැවති අවහිරතා කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන බව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු පැවසූහ.
නව “ආගමන” පනත් කෙටුම්පත සලකා බලමින් කාරක සභාව විසින් ඒ පිළිබඳව නිලධාරීන්ගෙන් කරුණු විමසන ලදී. මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් 2024 ජූනි 20 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත 2017 වසරේදී කෙටුම්පත් කිරීම ආරම්භවූ බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය.
ආගාමික හා විගාමික හා 1971 අංක 53 දරන විදේශ ගමන් බලපත්‍ර (විධිමත් කිරීමේ) පිටවීමේ අවසර පත්‍ර පනත්, වත්මන් සමාජ හා තාක්ෂණික තත්ත්වයට ගැළපෙන ලෙස සංශෝධනය කරමින් මෙම නව පනත් කෙටුම්පත සකස් කර ඇත. එසේම මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්වී ඊට අදාළ තීරණය පාර්ලිමේන්තුවට නිවේදනය කර ඇති බැවින් ඊට අදාළ සංශෝධන සිදු කිරීම සදහා කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.
මෙම පනත් කෙටුම්පත මෙරට ආගමන විගමන නීතිවල පැවති අඩුලුහුඩුකම් නිවැරදි කිරීම සදහා ප්‍රතිපාදන සපයා ඇති බව ද මෙහිදී අනාවරණය විය. විශේෂයෙන් මෙරට මෙතෙක් නීති නොපැවති මිනිස් අවහරණය (Human Smuggling) සදහා ප්‍රථම වරට මෙම නව පනත් කෙටුම්පත මගින් අවශ්‍ය නෛතික විධිවිධාන සලසා ඇති බවත් ආගමන විගමන පාලක ජනරාල්වරයා පෙන්වා දුන්නේය.
එසේම දෙපාර්තමේන්තුවට නව තාක්ෂණය සමග ඉදිරියට යාම සදහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන මෙන්ම මෙරට අනවසරයෙන් රැදී සිටින පුද්ගලයන් සදහා අදාළ වන ප්‍රතිපාදන ඇතුළු නව නීති මෙම නව පනත් කෙටුම්පත මගින් පනවා ඇත. බොහෝ පිරිසකගේ අදහස් යෝජනා සලකා බැලීමෙන් අනතුරුව මෙම පනත් කෙටුම්පත සකස් කරන ලද බව ඉළුක්පිටිය මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. බොහෝ කාලයක් පමාවූ මෙම පනත් කෙටුම්පත කාලීන වශයෙන් ඉතාම වැදගත් පනතක් බව ද කාරක සභාවේදී සාකච්ඡා විය.
එසේම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානය යොමු විය. ඊට අදාළ යෝජනා කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස ද කාරක සභා සභාපතිවරයා උපදෙස් දුන්නේය. පනත් කෙටුම්පතට අනුමතිය ලබා දෙමින් කාරක සභා සභාපතිවරයා පැවසුවේ මෙම පනත වඩාත් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සදහා නව තාක්ෂණය සමඟ ඉදිරියට යාමට කටයුතු කළ යුතු බවයි. ඒ සදහා පවතින බාධා ඉවත් කරගැනීමට අදාළ යෝජනා සති 2ක් තුළ කාරක සභාවට ලබා දෙන ලෙසත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට කාරක සභාව විසින් දැනුම්දෙන ලදී.
එසේම ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර ප්‍රසම්පාදන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවත් ලබන ඔක්තෝබර් අගවන විට ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර ලක්ෂ 50 ක් ලැබීමට නියමිත බවත් මෙහිදී ආගමන විගමන පාලක ජනරාල්වරයා සදහන් කළේය.