ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසු නව ආණ්ඩුව ආරම්භයේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තෙක් ව්‍යවස්ථානුකූලව රට ඉදිරියට ගෙන යන බවද ඔහු සදහන් කළේය.
තමන් ජනාධිපති ධුරයට පත් වූ පසු පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මන්ත්‍රීවරයෙක් හෝ මන්ත්‍රීවරියක් පත්කිරීමෙන් පසු ජනාධිපති ඇතුළු අමාත්‍යවරු සිවුදෙනෙකු අතර අමාත්‍යාංශ බෙදාගැනීමෙන් කැබිනට් මණ්ඩලය සකස් කර ආණ්ඩුවේ ඉදිරි කටයුතු මහ මැතිවරණය තෙක් කරගෙන යා හැකි බවත්, ව්‍යවස්ථාවට අනුව මැතිවරණය තෙක් සියලුම අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතේ තබා ගත හැකි බවත්, නොඑසේ නම් භාරකාර ආණ්ඩුවකට යා හැකි බවත් ඔහු කීවේය.
දිසානායක මහතා මේ බව පැවසුවේ ජාඇළ පැවති ජන රැලියක් අමතමිනි. එහිදී අදහස් දැක්වූ දිසානායක මහතා,
“මේ ජයග්‍රහණය දැන් කාටවත් ආපසු හරවන්න බැහැ. ඒ නිසා ජයග්රහණයෙන් පස්සේ අපි යන මාවත ගැන අපි පොඩ්ඩක් කතා කරමු.අපි ජයග්‍රහණය කළාට පස්සේ අපේ ජනවරමයි, පාර්ලිමේන්තුවේ ජනවරමයි අතර ක්ෂණික විකෘතියක් නිර්මාණය වෙනවා.
පොහොට්ටුවට කතිරේ ගහලා නාලක ගොඩහේවාට මනාපෙ ගැහැව්වා. දැන් එයා සජිත් ළඟ. දැන් එතකොට 2020 ජනවරම කෝ. ඒක අහෝසියි. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආරම්භයේදීම මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. එතකොට කට්ටිය අහනවා එහෙම කරලා ඊළඟ පාර්ලිමේන්තුව පත්වන තුරු කැබිනට් මණ්ඩලයට මොකද වෙන්නේ කියලා.
කලබල වෙන්න එපා. ව්‍යවස්ථානුකූලව අපි ඒ අන්තර් කාලයේ රට පාලනය කරනවා. කොහොමද? එකක් තිබෙනවා. අපි දිනුවම පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරය හිස්වෙනවා. තව කෙනෙකුට එතනට පත්වෙන්න පුළුවනි. හතර දෙනාගෙන් කැබිනට් මණ්ඩලය හදනවා. ඒක ව්‍යවස්ථාවට එකඟයි. එහෙම නැතිනම් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට පුළුවනි සියලුම විෂයයන් තමන්ගේ යටතට ගන්න. එහෙමත් නැතිනම් භාරකාර ආණ්ඩුවක් හදන්නත් පුළුවන්. කළ හැකි ආකාර තුනක් තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවලා අලුත් පාර්ලිමේන්තුවක් පත්කර ගන්නා තුරු ව්‍යවස්ථානුකූලව අපි රට පාලනය කරනවා.
ඊළඟට පාර්ලිමේන්තු ඡන්දය එනවා. දැන් රටේ විශාල කතාබහක් තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් විශාල ප්‍රමාණයක් ගෙදර යවන්න ඕනෑ කියලා. දැන් ඉන්න අයගෙන් 2/3ක් ඊළඟ පාර්ලිමේන්තුවේ නැති බව අපි දන්නවා. අද පාර්ලිමේන්තුව රැස්වෙලා ආයි කල්තිබ්බෙ ඔක්තෝබර් මාසෙ පළමු වැනිදාට.
ඒ අනුව අර 2/3 අයගෙ අන්තිම පාර්ලිමේන්තු දවස අද. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයේදී විශාල බහුතරයක් ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට එනවා. ඊළඟට උපරිම 25ක් වූ ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් අපි හදනවා. ඊට විද්‍යාත්මකව විෂයයන් බෙදනවා. මෙතෙක් කල් අමාත්‍යාංශ බෙදුවේ රට ගොඩනගන්න නොවෙයි. තම තමන්ට බෙදා ගන්නයි. අපි ඒ ඒ විෂයන්ට ගැළපෙන ඒකාබද්ධ කිරීම් කරලා අමාත්‍යාංශ බෙදනවා.”