පාකිස්තානය, ඉන්දියාව, තුර්කිය , චීනය, ඇතුළු විදේශ රටවලින් ගෙන්වන ප්‍රමිතියෙන් තොර වූ ලොකු ලූණු අර්තාපල් අල සහ අනෙකුත් ද්‍රව්‍යය නරක් වීමෙන් පසුව ගබඩා හිමිකරුවන් ව්‍යාපාරිකයන් ඉතා සූක්ෂම ලෙස දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාමීය වැව් අමුණු ඇළ දොළ සහ රජයේ රක්ෂිත වලට ගෙනැවිත් දැමීම නිසා මහා පරිසර විනාශයක් සිදුවන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
කාලයක සිට සිදු කෙරෙන මෙම මහා විනාශය නිසා මේ වන විටත් බොහෝ ජල මූලාශ්‍ර පරිසර පද්ධති වලට නරක වූ ලොකු ලුණු , අල ගෙනවිත් දැමීම නිසා දුර්ගන්ධය මෙන්ම සතෙකුට හෝ ජනතාවට ජලය පරිභෝජනය කිරීමට පවා නොහැකි තත්ත්වයක පත්ව ඇතැයි නගරවැසියෝ පෙන්වා දෙති.
තත්ත්වයෙන් බාල විදෙස් රටවලින් ගෙන්වන අල ලොකුණු වරායෙන්ම දඹුල්ලට ගෙනවිත් ඒවා ගබඩාකොට කාන්තාවන් යොදා තෝරා නරක වූ ඒවා නැවත ලොරිවල පටවා රාත්‍රී කාලයේ දඹුල්ල ප්‍රදේශයේ ග්‍රාමීය වැව්වලට මෙන්ම පාළු ස්ථානවලට ගෙනැවිත් දැමීම සිදුවන බවත් මේ හේතුව නිසා ජල මූලාශ්‍රවලට සිදුව ඇති හානිය කෘෂි කර්මාන්තයට සිදුව ඇති හානිය මෙන්ම වන සතුන් පවා මියැදෙන තත්ත්වයකට පත්ව ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
ඊට අමතරව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස විදේශීය අර්ථාපල් අල ලොකු ලූණු සහ අනෙකුත් ද්‍රව්‍ය ගබඩා සහ අලෙවිකරණ ස්ථානයේ ප්‍රධාන මාර්ගය ජනතාවට පරිහරණය කිරීමට නොහැකි වන පරිදි විනාශ කර අවහිර කරමින් නව නීතියක් එම ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බවද ජනතාව පෙන්වා දෙති.
මෙම මාර්ගයේ තිබුණු මාර්ග සංඥා සලකුණු ජනතා මුදලින් ඉදිකරන ලද බෝක්කු කානු පද්ධතිය සියල්ල විනාශ කර දමා එම ව්‍යාපාරිකයන්ගේ නීතිය ක්‍රියාත්මක කිරීම නගර වැසියන්ට බරපතළ ප්‍රශ්නයක් බවත් ජනතාව පෙන්වා දෙති.
ගබඩා සහ වෙළඳසැල් ඉදිරිපිටින් ගලා බසින තම්න් ඇළට මෙම කුණු කසළ සියල්ලම එක් කිරීම වැසිකිලි සහ කැසිකිලි ජලය මුදා හැරීම නිසාවෙන් මෙම ඇළ හරහා මෙම සියලු අපද්‍රව්‍ය කලා වැව දක්වා ම ගමන් කරන බව ද එයින් පසුව ඒවා විවිධ ප්‍රදේශවලට ලෙඩ රෝග රැසක් බෝ කරන තත්ත්වයට ව්‍යාප්ත වී ඇතැයි දඹුල්ල නගර වැසියෝ පෙන්වා දෙති.
දඹුල්ල මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව් .ඒ .එම් වයි .අබේසේකර මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ තමන් දිවා රාත්‍රී දෙකෙහිම මෙම ජාවාරම්කරුවන් හසු කර ගැනීම සඳහා වෙහෙසෙමින් සිටින බවය.
මේ වන විටත් ප්‍රදේශයේ වැව් ඉස්මත්තවල් වල සහ වැව් ජලයට විශාල කුණු වූ ලොකු ලුණු තොග ගෙනැවිත් දමා තිබෙන බවද හෙතෙම සඳහන් කළේය ගෙන ඇවිත් දමා තිබූ කුණු ගොඩවල් පවා අවුස්සමින් ඒවා ගෙන දැමූ අයෙකුගේ තොරතුරු සොයාගැනීම තමන් වෙහෙසෙමින් සිටින බවද එවැනි දෙයක් සිදුවන්නේ නම් දුටු විට වහාම ජංගම දුරකථනයකින් ඡායාරූපයක් හෝ ලබාගෙන දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ වෙත දැනුවත් කරන ලෙස ජනතාවගෙන් හෙතෙම ද ඉල්ලීමක් කරන්නට විය.
එමෙන්ම වෙළඳ ප්‍රජාව මෙන්ම ව්‍යාපාරිකයන් වෙළඳසැල් හිමියන් මේ පිළිබඳව දැනුවත් කළද ඇතැම් පිරිස් මෙම සමාජ විරෝධී ක්‍රියාව සිදුකරමින් යන බවද හෙතෙම සඳහන් කළේය.