කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් කිරීමට උසාවියේම තවත් තිදෙනෙකු සම්බන්ධ බව සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර සිටින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ භාරකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශ්‍යාම් ෆරීඩ් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අද (12දා) දැනුම් දුන්නේය.
සැකකරු බන්ධනාගාරයේදී හමුවී උපදෙස් ලබා ගැනීමේදී ඔහු ඒ බව හෙළි කළ බවද, මෙම අපරාධයට සම්බන්ධ උසාවියේ පුද්ගලයන්ගේ නම් ඔහු හෙළි කළ බවද නීතිඥ ශ්‍යාමි ෆරීඩ් මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
සිද්ධියට අදාළව සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ භාරකරු වශයෙන් කටයයුතු කළ මොහොමදු නියාස් මොහොමඩ් නද්වි නමැත්තා නඩුව කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. මින් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රකාශය සටහන් කර ගත යුතු යැයි ඔවුහු කීහ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවෙන් මීට පෙර අවස්ථාවක රත්තරන් ග්‍රෑම් 308.14 ක් අතුරුදන් වීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මොහු යැයි කී රහස් පොලිස් නිලධාරීහු අධිකරණ භාරයේ තිබූ හෙරොයින් පාර්සල් දෙකක් අස්ථානගත කිරීමෙන් රජයේ දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම, මත්ද්‍රව්‍ය පනත යටතේ ගැනෙන වැරදි කිරීම සහ පොදු දේපළ පනත යටතේ වැරදි කිරීම ඇතුළු චෝදනා යටතේ සැකකරුට එරෙහිව විමර්ශන කරන බවද දැනුම් දුන්හ.
රහස් පොලීසියේ යෝෂිත නමැති නිලධාරියකු අදාළ හෙරොයින් පාර්සලය රැගෙන ගිය බවට සැකකරු අධිකරණ භාණ්ඩ ලේඛන පොතේ තොරතුරු ඇතුළත් කර තිබුණත් ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී එවැනි පුද්ගලයකු එලෙස හෙරොයින් පාර්සලය රැගෙන ගිය බවට හෝ එවැනි නම ඇති නිලධාරියෙක් රහස් පොලීසියේ සේවය කරන බවට තොරතුරු අනාවරණය වී නැතැයිද කී රහස් පොලිස් නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන්නේ යැයිද කීහ.
මේ අවස්ථාවේදී අධිකරණය ඇමතූ නීතිඥ ශ්‍යාම් ෆරීඩ් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් කිරීමට උසාවියේම තවත් තිදෙනෙකු සම්බන්ධ බව තම සේවාදායකයා බන්ධනාගාරයේදී හමුවී උපදෙස් ලබා ගැනීමේදී පැවසු බවත්, ඊට සම්බන්ධ පුද්ගලයින්ගේ නාමයන්ද ඔහු හෙළි කළ බවත් කීය.
නීතිඥවරයාගේ මෙම කරුණු කෙරෙහි රහස් පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමු කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නේදැයි විමසා සිටියේය.
ඊට පිළිතුරු දුන් රහස් පොලිස් නිලධාරීහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු ප්‍රකාශයක් දුන්නත් සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් කවුරුන්ද? යන්න පිළිබඳ නිශ්චිතවම කරුණු අනාවරණය කිරීමට ඔහු මැලිකමක් දැක්වූ බවත්, මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ අතුරුදහන් කිරීමේ වෙනත් සිද්ධීන් දෙකකට මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර සිටින සම්පත් නමැත්තෙකු මෙම සිද්ධියට සම්බන්ධ බවට ඔහු නිශ්චිතවම කරුණු ඉදිරිපත් කර ඇති බවත් සඳහන් කළහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අනාවරණය වන්නේ නම් වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලීසියට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 26 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කළේය.