ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා සුහුරු ටිකට්පත් පද්ධතියක් ස්ථාපිත කිරීමට පුද්ගලික උපදේශක සමාගමකට රුපියල් මිලියන 21 ක මුදලක් ගෙවා තිබුණද ව්‍යාපෘතිය සම්බන්ධව කිසිදු ප්‍රගතියක් අත්පත් කරගෙන නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය මගින් නොවැම්බර් මස 09 වැනි දින නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
සුහුරු ටිකට් පත් පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් දීර්ඝ ටෙන්ඩර් ඇගයීම් ක්‍රියාවලියකින් පසු පුද්ගලික සමාගමක් සමඟ ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 19 ක පිරිවැයකට ගිවිසුම් අත්සන් කරනු ලැබීය.
මෙකී ව්‍යාපෘතිය 2021 වර්ෂයේ මැයි මස 31 වැනි දින අවසන් කිරීමට නියමිත ව තිබුණද එම දිනය 2024 වර්ෂයේ දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර ඇත. ව්‍යාපෘතිය ප්‍රමාදයකින් තොරව අවසන් කළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත. මෙකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර වසර 02 ක් ගතවී ඇතත් එහි නිමවුම් ලබා දීමේ පසුගාමී බවක් දක්නට ලැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව විගණනයට සඳහන් කොට ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාව කොන්ත්‍රාත්කරු විසින් හඳුනා ගැනීම ප්‍රමාද වීමත් ඒ වන විට රට තුළ පැවති අස්ථාවර භාවයත් මේ ප්‍රමාදය සඳහා හේතු වී ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව විගණනයට දැනුම් දී තිබේ.
චන්දන සමරවික්‍රම