දුම්රිය ආසන ”ඔන්ලයින්” ක්‍රමයට වෙන් කිරීමේ ඊ-ටිකට්පත් නිකුත්කළ සැනින් මිලදීගෙන යළි වැඩි මිලකට අලෙවි කිරීමේ ජාවාරම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මියට අද (20) දැනුම් දුන්නේය.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් දුම්රිය දෙපාර්තමේන්තුව හා ‘මොබිටෙල්’ සමාගම එක්ව ක්‍රියාත්මක කරන දුම්රිය ආසන ”ඔන්ලයින්” ක්‍රමයට වෙන්කිරීමේ ක්‍රමය ආරම්භ කර තත්පර 42ක කාලයක් තුළ අදාළ ඊ-ටිකට්පත් සියල්ල මිලදී ගැනීම සම්බන්ධයෙන සම්බන්ධයෙන් ඇති වු සැකය මත මෙම පැමිණිල්ල කර ඇතැයිද දැනුම් දුන්හ.
සිද්ධියට අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ගෙනු කරමින් රහස් පොලිසිය මේ බව දැනුම් දුන්නේය.
දුම්රිය දෙපාර්තමේන්තුව මොබිටෙල් ආයතනය සමඟ එක්ව දුම්රිය ප්‍රවේශපත්‍ර මාර්ගගත ක්‍රමයට “ඊ-ටිකට්පත්” අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළ බව දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු “ඊ-ටිකට්පත්” නිකුත් කර කෙටි වේලාවක් තුළ ටිකට් පත් සියල්ල මිලදීගෙන ඇති බවත් පසුව එම ටිකට්පත් වැඩි මිලට අලෙවි කිරීමට කටයුතු කර ඇති බවත් දැනුම් දුන්හ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන බවට නිලධාරීන් කළ දැනුම්දීම සැළකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන ලෙස නියම කළාය.
සචිත්ර ගුණසේකර