දුම්රිය සේවය භාවිත කරමින් රටපුරා එළවළු බෙදා හැරීමේ යාන්ත්‍රණයක් සකස් කළ හැකි බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.
රජය මැදිහත් වී මෙවැනි ක්‍රියාදාමයක් ආරම්භ කිරීම තුළින් ගොවියන්ගෙන් එළවළු ඉතා අඩු මුදලකට ලබාගෙන පාරිභෝගික ජනතාවට වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීමේ ක්‍රමවේදය නතර කළ හැකි බව ද ඒ මහතා කියා සිටියේය.
ආර්ථික මධ්‍යස්ථාන හදිස්සියේ වැසීමට තීරණය කිරීම තුළ අස්වැන්න නෙලා ගත් ගොවි ජනතාව අසරණ බැවින් දුම්රිය සේවය යොදාගනිමින් මෙවැනි යාන්ත්‍රණයක් සකස් කළ හැකි නම් එය ගොවි ජනතාවට මෙන්ම පාරිභෝගික ජනතාවට ද සහනයක් වන බව ඒ මහතා ප්‍රකාශ කළේය.
සෑම දුම්රිය ස්ථානයකම කිරණ යන්ත්‍ර හා භාණ්ඩ ප්‍රවාහන කරන යාන්ත්‍රණයක් පවතින බැවින් එම සේවාවන්ද දායක කරගනිමින්, සියලු ගොවි සංවිධානවල සහය ද ඇතිව මෙවැනි ක්‍රියාවලියක් ආරම්භ කළ හැකි නම් ලොරි රථ 50කින් පමණ ලබා ගත යුතු සේවාව දුම්රිය කිහිපයකින් සපුරා ගත හැකි බව ද කියා සිටියේය.
එක් එක් දුම්රිය ස්ථානවලින් එම එළවළු තොග ලබා ගනිමින්, ඒවා ප්‍රවාහනයට හා බෙදා හැරීමට උපරිම දායකත්වය ලබා දෙන බවත්, දුම්රිය සේවකයින් ද මෙම කාර්ය සඳහා සහය දැක්වීමට කැමැත්ත පළ කර ඇති බව ද සඳහන් කළේය.
රජය මේ පිළිබඳ අවධානය යොමු කරමින් රාජ්‍ය ප්‍රවාහන මාධ්‍යයන් හා රථ මේ සඳහා යොදවමින් එම යාන්ත්‍රණය සකස් කරන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.