ප්රකට ව්යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ අපරාධ දෙපාර්තමේන්තුව යටතේ සිදුකරන බව පොලිසීය පවසයි.
තම මෝටර් රථය තුළදී අත් බැඳ තබා ගෙල වයරකින් සිරකර බොරැල්ල කනත්තේ දමා ගොස් සිටි ශාෆ්ටර් මහතා කනත්තේ සේවකයෙක් හා ජනශකිති සමාගමේ විධායක නිලධාරියෙක් විසින් සොයාගෙන තිබුණි.
පසුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
මියයන විට දිනේෂ් ෂාෆ්ටර් මහතා 51 හැවිරිදිවියේ පසුවිය. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, රුපියල් කෝටි ගණනක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයකු හමුවීම සඳහා යන බව බිරිඳට පවසා ඔහු නිවසින් පිටත්ව ගොස් තිබූ බවය.
එලෙස සභාපතිවරයා ඊයේ (14) දහවල් කුරුඳුවත්ත මල්පාර ප්රදේශයේ පිහිටි සිය නිවසින් පිටත්ව ගොස් තිබුණි.
ඉන් අනතුරුව ඔහුගේ බිරිඳ මද වේලාවකින් පසු ඔහුට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති අතර එහිදී ඔහුගේ දුරකථනය ක්රියාවිරහිතව තිබී ඇත.
දුරකථනය හරහා ලැබී ඇති සංඥා අනුව ඔහුගේ දුරකථනය බොරැල්ල සුසාන භූමිය අසල තිබෙන බවට බිරිඳ අනාවරණය කරගෙන තිබේ.
ඒ පිළිබඳව සැක සිතූ සභාපතිවරයාගේ බිරිඳ, සමාගමේ විධායක නිලධාරියකුට ඒ බව පවසා බොරැල්ල සුසාන භූමිය වෙත එවා ඇත.
ඔහු පැමිණ කළ සොයා බැලීමේදී, සභාපතිවරයා පැමිණි මෝටර් රථයේ රියදුරු අසුන මත ඔහුගේ අත්දෙක ගැට ගසා ගෙලට වයරයක් දමා තිබෙන අයුරු දැක තිබේ.
ඒ මොහොතේම වහා ක්රියාත්මක වී ඇති විධායක නිලධාරියා සුසාන භූමියේ කම්කරු සේවකයකුගේ ද සහාය ඇතිව සභාපතිවරයාගේ අත් දෙක සහ ගෙලට දමා තිබූ වයර් ඉවත්කර ඔහුව කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
සභාපතිවරයාගේ මෝටර් රථය අසල සිට නාඳුනන පුද්ගලයකු පිටත් වන අයුරු සුසාන භූමියේ සිටි කම්කරු සේවකයෙකු දැක තිබූ බවද පොලීසිය කියයි.
ප්රකට ක්රිකට් විස්තර විචාරකයෙකු රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් සභාපතිවරයාගෙන් ලබාගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි 03ක්ද සභාපතිවරයා සිදුකර තිබෙන බවද උසස් පොලිස් නිලධාරියෙකු වැඩිදුරටත් සඳහන් කළේය.