නීත්‍යානුකූල බලපත්‍රයක් හෝ හිස්වැසුමක් හෝ නොමැතිව එකම වයසේ පාසල් සිසුන් දෙදෙනෙකු යතුරු පැදි ධාවනයේ යෙදෙමින් සිටියදී රිය අනතුරු වලට ලක්ව මියයාමේ සිදුවීම් දෙකක් දින තුනක් ඇතුළත වාර්තා වූ බව හෝමාගම මූලික රෝහල පවසයි.
ඉන් පළමු වැන්න ඉකුත් 15 දා හංවැල්ල වැලිපිල්ලෑව ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එහිදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී දාහත් හැවිරිදි පාසල් සිසුවකු ඉන් මියගොස් තිබුණි.
ඉන් දින තුනකට පසුව මීගොඩ , දාම්පේ මාර්ගයේදී ටිපර් රථයක යතුරු පැදියක් ගැටී රිය අනතුරක් සිදුව තිබූ අතර අනතුරින් පැදිකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙසේ මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ මීගොඩ දාම්පේ අංක 226/ B , හි පදිංචි පෙරුම්බුලි අච්චිගේ සුබෝධ සශ්මික විජේසිංහ නමැති (17) හැවිරිදි පාසල් සිසුවකු බව මීගොඩ පොලිසිය පවසයි.
අනතුරින් පසුව ටිපර් රථ රියදුරු නො නවත්වා රථය ධාවනය කර ඇති අතර අනතුර සිදුවන අයුරු ඒ පසුපසින් ධාවනය වූ ත්‍රී රෝද රථ රියැදුරෙකු දැක කිලෝමීටර් ගණනක් පසුපස ලුහුබැන්දද ටිපර් රථය අල්ලා ගැනීමට නොහැකු වී තිබූ බව පොලීසිය පවසයි.
පසුව අනතුරට ලක් වූ පාසල් සිසුවා රෝහලට රැගෙන යාම සඳහා සුවසැරිය ගිලන් රථයකට දන්වා ඇත්තේ ත්‍රිරෝද රථ රියදුරුගේ ඉල්ලීම පරිදි එම ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමකි.
ඒ අනුව රෝහල් ගත කළ පාසල් සිසුවා එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබූ අතර මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් සිදු කළ අතර , පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය දමිත් අත්තනායක මහතා විසින් සිදු කරන ලදී.
එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව පපුවට හා පාදයේ පහළ ගාත්රාවලට සිදුවූ බහුවිධ මොට බල තුවාල හේතුවෙන් වූ බරපතළ හානිය මරණයට හේතුව බව හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා නිගමනය කළේය.
මෙම අනතුරු දෙකම සමාන ආකාරයෙන් සිදුව තිබූ අතර පැදිකරුවන් දෙදෙනාම අනතුර සිදුවන අවස්ථාවේදී හිස් වැසූම් පැළඳ සිට නොමැති බවත් දෙදෙනාටම ජාතික හැඳුනුම්පතක් හෝ රියදුරු බලපත්‍රයක් හෝ තිබී නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා පැවසීය.
මේ හේතුවෙන් බාල වයස්කාර සිසුන් මෙසේ යතුරුපැදි ධාවනය කිරීමේදී මාපියන් හෝ භාරකරුවන් සැලකිලිමත් විය යුතු බවත් එසේ නොවුණහොත් මෙවන් අකල් මරණ තවදුරටත් වාර්තා වීම වැළැක්විය නොහැකි බවත් පැවසූ මරණ පරීක්ෂක චින්තක උදය කුමාර මහතා මෙම රිය අනතුරට සම්බන්ධ ටිපර් අතර රියැදුරු අත්අඩංගුවට ගෙන බල ප්‍රදේශයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය..