පවුල් ආරවුලක් දුර දිග යාමෙන් බිරිඳ ඝාතනය කිරීමට අත්බෝම්බයක් රැගෙන පැමිණි අවස්ථාවේදී නිවසේ බිරිඳ නොමැති නිසා සිය දරු දෙදෙනා ප්‍රාණ ඇපයට රඳවාගෙන සිටිය දී අත් අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට හෝමාගම මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද(06) දා නියෝග කළාය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේ පදිංචි ජයරත්නගේ සංජය කැලුම් ජයරත්න නමැති (37) හැවිරිදී හිටපු යුද හමුදා සෙබළෙකි.
මොහු ඉකුත් 05 දා සවස ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා පදිංචි හංවැල්ල ජල්තර ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයකට අත්බෝම්බයක් අතැතිව පැමිණ තිබුණි. පසුව මේ බව දැනගත් බිරිඳ දරු දෙදෙනා නිවස තුළ දමා පලා ගොස් තිබූ අතර සැකකරු සිය අවුරුදු දහයක සහ අවුරුදු දෙකහමාරක දරු දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන රැදී සිට තිබේ.
එහිදී අනාවරණය වී ඇත්තේ දරු දෙදෙනා ප්‍රාණ ඇපයට ගෙන සිටි අවස්ථාවේදී ඔවුන් කෑ ගැසීම වැළැක්වීම සඳහා සැකකරු විසින් දස හැවිරිදි දැරියට කිසියම් එන්නතක් ලබාදී ඇති බවයි.ඒ අනුව දරු දෙදෙනා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
පසුව අත්අඩංගුවට ගත් සැකකරු අධිබලැති අත්බෝම්බයක් ළඟ තබා ගැනීම, මිනීමැරීමට තැත් කිරීම බලහත්කාරය පෑම, යන චෝදනා යටතේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
සැකකරු සන්තකයේ තිබී භාරයට ගත් අත් බෝම්බය නිස්ක්‍රීය කිරීම සඳහා බෝම්බ නිෂ්ක්‍රීය අංශය වෙත භාරදී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න