වර්තමානයේදී මෙරට තුළ දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන ජනගහනය මිලියන 7ක් බවට පත්ව ඇතැයි LIRNEasia ආයතනය පවසයි. ඒ අනුව මෙය සමස්ත ජනගහනයෙන් 31%ක ප්‍රතිශතයක් ගන්නා බවද එම ආයතනය සදහන් කරයි.
කලාපීය චින්තන පර්ෂද ආයතනයක් වන LIRNEasia ආයතනය ශ්‍රී ලංකාවම නියෝජනය වන පරිදි මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල ඉදිරිපත් කරමින් මේ බව පවසා සිටියි. ඊයේ (07දා) කොළඹදී පැවැති උත්සවයකදී මෙම නවතම සමීක්ෂණ වාර්තාව එළිදැක්වුණි.
ඒ අනුව 2019 වසරේදී මෙරට තුළ දරිද්‍රතාවයෙන් පෙළුණු බවට හඳුනාගත් මිලියන 3 හා සසඳාබැලීමේදී අද වනවිට එය තවත් මිලියන 4කින් ඉහළ ගොස් ඇතැයිද එම ආයතනය පෙන්වා දෙයි.
මෙම සමීක්ෂණයට අනුව දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන පිරිසගෙන් 81%ක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වෙයි. නාගරික දරිද්‍රතාවය 10%කි. වතු ආශ්රිත දරිද්‍රතාවය 9%ක ප්‍රතිශතයක් ගනී. මේ අතරින් වතු ආශ්රිත ජනතාවගේ තත්ත්වය දිනෙන් දින දරුණු වන බවත් මෙම සමීක්ෂණය මගින් සඳහන් කර සිටියි.
එසේම පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට නිවාස අතරින් 33%ක්ම ආහාර අනුභව කිරිම අඩකින් කපා දමා ඇතැයිද මෙම සමීක්ෂණය මගින් අනාවරණය කර තිබේ. ඒ අනුව මෙම සමීක්ෂණයට භාජනය කළ නිවාස අතරින් 47%ක් සිය ආහාර වේල්වල ප්‍රමාණය කුඩා කර තිබේ. එසේම 33%ක් දිනකට ගන්නා ආහාර වේල් ගණන අඩු කර තිබේ.
මීට අමතරව 27%ක් ළමයින්ට ආහාර ගැනීමට ඉඩ සැලැස්වීම සඳහා වැඩිහිටියන් ආහාර පරිභෝජනය අඩු කර ඇත.
විශේෂයෙන්ම මෙම ගැටලුව විසඳීම සඳහා ක්‍රියාත්මක කරන ලද සමාජ ආධාර වැඩසටහන් මෙතෙක් සමාජයේ දුප්පත්ම ජනතාව වෙත ළගාවීමට අපොහොසත්වීම මෙම තත්ත්වය ඇති වීමට හේතු ලෙස LIRNEasia ආයතනය පෙන්වා දෙයි.
එහිදී දුප්පත්කමින් වැඩිම නිවාස දහයෙන් පංගුවකින් 31%ක් පමණක් සමෘද්ධිය හිමි කරගන්නා බවත්, ධනවත් කමින් වැඩිම නිවාස දහයෙන් පංගුවකින් 4%ක්ද සමෘද්ධිය ලබන බවත් මෙම සමීක්ෂණයේදී අනාවරණය කර ගෙන තිබේ.
මේ අතර සමෘද්ධි වැඩසටහන වෙනුවට රජය මගින් මෑතකදී හඳුන්වාදී ඇති සමාජ සුභසාධන වැඩසටහනක් වන අස්වැසුම වැඩසටහන පිළිබඳවද මෙහිදී අදහස් දැක් වූ LIRNEasia ආයතනය, එම වැඩසටහන මීට වඩා ජනතාව වෙත සන්නිවේදනය විය යුතු බවත්, එය වඩාත් විනිවිදභාවයකින් යුක්තව ක්‍රියාත්මක කිරීම අනිවාර්යය බවත් පෙන්වා දෙයි.
LIRNEasia ආයතනයට අනුව ශ්‍රී ලංකාව නියෝජනය වන පරිදි නිවාස 10,000කට වැඩි සාම්පලයක් ඇසුරෙන් මෙම සමීක්ෂණය පවත්වා තිබේ. මෙහිදී 2022 ඔක්තෝබර් සිට 2023 මාර්තු දක්වා කාලය අතර ග්‍රාමනිලධාරී වසම් 4000ක් පුරා මෙම සමීක්ෂණය සිදු කර ඇත.
භානුක අමරසිංහ