මෙරට දරිද්‍රතාව ඉහළ ගොස් ඇති බවත්, උද්ධමනය ඇතුළු විවිධ කාරණා හේතුවෙන් ස්ථාර සේවයේ නියුතු වන රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් දරිද්‍රතා රේඛාවට පැමිණ ඇති බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.
මෙහිදී අතර පාසල් ගුරුවන්, විශ්වවිද්‍යාල ආචාර්වරුන් වැනි වෘත්තිකයන්ගෙන් සැලකිය යුතු පිරිසක්ද දරිද්‍රතා මට්ටමට පැමිණ ඇති බව මෙහිදී අනාවරණය විය.
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (සේපා) සිදු කළ සමීක්ෂණයකට අනුව මෙම කරුණු කමිටුයේදී අනාවරණය විය.
මේ අතර අස්වැසුම ප්රතිලාභ ලබා දීමේදී නුසුදුසු පුද්ගලයන්ට ලබා දී සුදුසු පුද්ගලයන්ට ලබා දීනැති බවත්, ඉදිරියේදී සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් සිදු කරන්නේ නම් එය ගෘහස්ථ විදුලි පරිභෝජනය අනුව සලකා බලා සිදු කරන ලෙස යෝජනා කරන බවත් කමිටුව හමුවේ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ (සේපා) ජ්‍යෙෂ්ඨ උපදේශක අචාර්ය එච්.එම්.ගුණතිලක අවධාරණය කළේය.
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (සේපා) ජ්‍යෙෂ්ඨ උපදේශක අචාර්ය එච්.එම්.ගුණතිලක - අපේ අවසාන විග්රහයේ අපි කියන්නේ දරිද්‍රතාව වැඩි වෙලා තිබෙනවා.2023 ඇස්තමේන්තුවට වැඩිය. අපේ සාම්පල් එක 5000ක්. ඒ නිසා අපිට මේක ඉතාම ප්‍රබල විදියට ප්‍රකාශ කරන්න බෑ. මේකේ යම්කිසි අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. ගෘහස්ථ 10,000ක්-15,000ක් සමීක්ෂණය කළා නම් මීට වැඩිය විශ්වාසයක් ඇතිව කියන්න පුළුවන්. නමුත් දරිද්‍රතාව අනිවාර්යෙන් වැඩි වෙලා තියෙනවා.
දෙවැනි කාරණය තමයි අස්වැසුම වැඩසටහන අපි අවුරුද්දක් ක්‍රියාත්මක කළා. ඒක කළාට මේක පිළිබඳව පසු විපරමක් කොහේවත් කරලා තිබුණේ නෑ. අපි මෙහිදී කරුණු කිහිපයක් හැදෑරුවා. අස්වැසුම ලාභීන් මොනවටද මේ දුන්න මුදල වියදම් කළේ කියලා. අස්වැසුම වැඩසටහනම ජීවත් වීමට පාරිභෝජනය සඳහා දෙන දීමනාවක්. ඒ නිසා මෙතන අමුතුවෙන් පුදුමයට කාරණයක් නෑ. අපේ මුළු සාම්පලයේම නිවාස 04ක් විතරයි යම්කිසි ආයෝජනයකට මේ මුදල් යොදවලා තියෙන්නේ.
මෙතනින් දෙන පණිවිඩය තමයි මේ අස්වැසුම වැඩසටහන අන්ත දරිද්‍රතාවට හදිසියේ කඩා වැටුණු අය ජීවත් කරවීමේ යම්කිසි උදව්වක් මිසක් මේ අය දරිද්‍රතාවෙන් එළියට ගැනීමේ වැඩපිළිවෙළක් මෙතන නෑ. මේක ඉතාමත් වැදගත් සොයා ගැනීමක්. ඊළඟට අස්වැසුම වැඩසටහන නැවත නිර්මාණය කරනවා නම් මේක සැලකිල්ලට ගෙන අස්වැසුම වැඩසටහනට බලගැන්වීමේ සාධක එකතු කරලා දරිද්‍රතාවෙන් අපේ ජනතාව එළියට ගන්න වැඩසටහනක් වෙන්න ඕනෑ. 40%-50%ක් අතර ජනතාවක් දරිද්‍රතාවෙන් ඉන්නවා නම් රටේ මේ බංකොලොත් වෙලා තියෙන ආර්ථිකයට මේක විශාල බරක්. මේ බර දිගටම දරාගෙන මේ අය නඩත්තු කරමින් යන්න බෑ. වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ මේ අය දරිද්‍රතාවෙන් එළියට ගන්න.
ඊළඟ කාරණය තමයි අපි දන්නව සමෘද්ධි වැඩසටහනේ විශාල බැහැර කිරීමේ දෝෂයක් තිබුණා. මේක 48%ක් කියලා තමයි හැමෝම පිළිගත්තේ. ඒ බැහැර කිරීම කියන්නේ දුප්පතුන් ඇතුළත් නොවීම. සුදුස්සන්ට මේ සහන නොලැබීම. අපි මෙතනදී තීරණය කළා දරිද්‍රතාවෙන් ඉන්න පවුලක්ද නැති පවුලක්ද කියලා. ඊළඟට අපි සමීක්ෂණයේදී ප්‍රශ්නයක් ඇහුවා ඔබලාට අස්වැසුම ලැබුණාද කියලා. මේකෙන් අපි සොයාගත්තා දරිද්‍රතාවෙන් ඉන්න පවුල් කීයකට අස්වැසුම ලැබුණද කියලා.
අපේ සොයා ගැනීම තමයි අස්වැසුමේ බැහැර කිරීමේ දෝෂය(Exclusion Error) 58%ක්. සමෘද්ධියට වැඩිය වැඩි වෙලා තියෙනවා. අස්වැසුම දුප්පත් නොවන අයට ලැබීම අපේ සොයා ගැනීමට අනුව 26%ක්. මේ දෙකම අතිශයින් වැදගත් කාරණා දෙකක්. අපිට ලොකු ධනයක් මේ විදියට නාස්ති කරන්න බෑ. නුසුදුසු අයට දෙන්නත්, සුදුසු අයට නොදී ඉන්නත් අපිට පුළුවන් කමක් නෑ. මේක නිවැරදි වෙන්න ඕනෑ.
මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා - ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (සේපා) ජ්‍යෙෂ්ඨ උපදේශක අචාර්ය එච්.එම්.ගුණතිලක - බැහැර කිරීමේ දෝෂය(Exclusion Error) කියන්නේ දුප්පත් අයට අස්වැසුම නොලැබීම. ඇතුළත් වීමේ දෝෂය කියන්නේ දුප්පත් නොවන අයට මේක ලැබීම. ඒ අනුව මේ දෝෂ දෙකම මේකේ තියෙනවා.
මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා -කාටත් තේරෙන භාෂාවෙන් කිව්වොත් දුප්පත් අය ඉන්නවා. ඒ දුප්පත් අයට තමයි අස්වැසුම ලැබෙන්න ඕනෑ. ඒත් මේ සමීක්ෂණයට අනුව අපිට දැනෙන දේ තමයි දුප්පත් අයගෙන් 58%කට මේක ලැබිලා නෑ.
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (සේපා) ජ්‍යෙෂ්ඨ උපදේශක අචාර්ය එච්.එම්.ගුණතිලක - ඔව්. අපේ සාම්පලයේ අපි දුප්පත් කියලා නිර්නය කරපු අයගෙන් 58%ට මේක ලැබිලා නෑ. අමතර දත්ත වලින් අපිට පුළුවන් කමක් ලැබුණේ නෑ මේකේ නිවැරදි භාවය පරික්ෂා කරන්න. නමුත් මෙතන සමහර අය මේ කියන දෝෂයේ අධිතක්සේරුවක් තියන්න පුලුවන්. හේතුව තමයි අපි ගෘහස්ථයකට ගිහින් ගේ හොඳට තියෙනවා, මෝටර් සයිකලයක් තියෙන තැන්වලින් ඇහුවම ඔවුන් ගත්තත් නෑ කියනවා. අපිට මේක තහවුරු කරගන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා මේ දෝෂයේ 58%ක ඉලක්කම වැඩිය පිළිගන්න එපා. මම කියන්නේ සැලකිය යුතු මට්ටමේ බැහැර කිරීමේ දෝෂයක් තියෙනවා.
අපේ සමීක්ෂණය අනුව විදුලි පරිභෝජනය ඒකක 60ට අඩු නම් එම නිවාසයක් දරිද්‍රතාවෙහි සිටීමේ සම්භාවිතාවය 74%යි. 26%ක දෝෂයක් තියෙනවා. ඊළඟ වතාවේ අපේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ මේ විදුලි පරිභෝජනය භාවිත කරලා යම්කිසි ආකාරයට බැහැර කිරීමේ දෝෂය අවම කිරීමේ ඉතා ඉහළ හැකියාවක් තියෙනවා.
මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා - මේකෙන් දකින කාරණා 03ක් තියෙනවා. එකක් තමයි අපි හිතුවටත් වඩා අපේ රටේ දරිද්‍රතාව වැඩි තැනක තමයි තියෙන්නේ. අපි හිතුවේ 25%-31%ක් වගේ තියෙයි කියලා. 2024 දත්තත් එක්ක අපිට හැඟෙන්නේ මේක 50%ට කිට්ටු වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ රටේ දරිද්‍රතාව ශීඝ්‍ර ලෙස වැඩි වෙලා තියෙනවා අර්බුදයත් එක්ක. දෙවැනි එක තමයි මේ දරිද්‍රතාවට කෙටිකාලීන විසඳුමක් ලෙස දෙන අස්වැසුම වැඩපිළිවෙළ හරියට ඉලක්ක වෙලා නෑ කියන එක දිගින් දිගටම කියපු දේ ඔප්පු වෙලා තියෙනවා.
තුන්වැනි කාරණාව මොවුන් පර්යේෂණ හරහා දත්ත මගින් පෙන්වලා දෙනවා මේ බැහැර කිරීමේ දෝෂය 58% සිට 5%කට අඩු කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා. ඔවුන් කියන විදියට විදුලිය පරිභෝජනය කිරීමේ ප්‍රමාණය අපිට මනින්න පුළුවන්. ඒකට එකතු කරලා තියෙනවා අධ්‍යාපන තත්ත්වය වසර 05ට යනකන්. ඇසට් ලෙවල් එක, පවුලේ 06 දෙනෙක් ඉන්නවා නම් ,අපිට බලන්න පුළුන් ඒකක 60ට වඩා අඩුවෙන් තියෙන අය මොනිටර් කරන්න පුළුවන්. වැදගත් කාරණයක් තමයි පවුල් 897න් පවුල් 4යි කියලා තිබුණේ ඔවුන් අස්වැසුම පාවිච්චි කළා කියලා යම් ආයෝජනයකට. මේක සෑහෙන දුරට වෙනස්කම් කළ යුතුයි කියන එක තමයි මේ ආයතනය අපිට ඇවිත් කිව්වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල – දැනට රාජ්‍ය සේවකයෝ සේවය කරනවා. ඔවුන්ට වැටුප ඉහළ මට්ටමකට තිබුණට ඔවුන් ණය අරන් තියෙනවා, ඒ වගේම ගෙවීම් ගණනාවක් කරනවා. ඒ අයත් මේ දරිද්‍රතා රේඛාවට ඇවිල්ලා තියෙනවාද? පෞද්ගලික අංශයේ සේවය කරන අය, ඇඟලුම් කම්මල් වගේ තැන් වල වැඩ කරන අය ඉන්නවා. ඒ අයත් මේකේ ඉන්නවාද? ස්ථිර රැකියාවල නිරත වෙලා ඉන්න අයත් මේ දරිද්‍රතා රේඛාවට ඇවිල්ලා තියෙනවාද? ්
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (සේපා) ජ්‍යෙෂ්ඨ උපදේශක අචාර්ය එච්.එම්.ගුණතිලක – කොටසක් ඇවිල්ලා තියෙනවා. උදාහරණයක් විදියට 04 දෙනෙක් ඉන්න පවුලක් ගත්තොත් දරිද්‍රතා රේඛාව අනුව සරලව මාසයකට රු. 16,000ක් නම් මාසයකට රු.64,000ක් ඕනෑ. ගුරුවරු දෙන්නෙක් ඉන්න පවුලක නිවාස ණයක් හරි වාහන ණයක් අරන් රු.15,000ක් විතර යනවා නම් රු.64,000ට වඩා අඩු ආදායමක් තමයි තියෙන්නේ.
වෙන ආදායම් නැත්නම් මේ අය දුප්පත් වෙලා ඉන්නවා. සමහර විශ්වවිද්‍යාල මහාචාර්යවරු ඉන්නවා. මේ අය ලක්ෂ 05ක පඩියක් ගන්නවා. ලොකුවට ගෙයක් හදලා කාර් එකකටත් ණයක් අරන් මේ අය රු.125,000ක විතර ආදායමකින් කාලා බීලා ජීවත් වෙන්න සැලසුම් කරගෙන හිටිය අය. මේ අයට අපි බදු වැඩි කරනවා. මේකෙන් තව 30,000 -40,000ක් අඩු වුණා. ඉන්පසු උද්දමනය 70% ගාණකින් වැඩි වුණා. අද උද්දමනය අඩු වුණාට බඩු මිල අඩු වෙලා නෑ. ඒ අනුව මේ කණ්ඩායම්වල අයත් දුප්පත් කමට වැටිලා ඉන්නවා.