දකුණු පළාතේ පාසල්වල ගුරුවරුන්ට තම පාසලේ ඉගෙනුම ලබන සිසුන් සඳහා මුදල් අයකර පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මහතාගේ අත්සනින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය දකුණු පළාතේ පළාත් අධ්‍යාපන අධ්යක්ෂ වෙත සහ සියලුම කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂවරුන් හා විදුහල්පතිවරුන් වෙත යොමුකළ බව එම අමාත්‍යාංශය පැවසීය.
පාසල් ගුරුවරුන් පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛයේ උපදෙස්වලට අමතරව නිකුත්කරන මෙම චක්‍රලේඛය මගින් මින් ඉදිරියට දකුණු පළාතේ පාසල්වල ගුරුවරුන්ට තම පාසලේ සිසුන් සඳහා පාසල් වේලාව තුළ හා ඉන් පසුවද ,සති අන්ත හා රජයේ නිවාඩු දිනවලද විවිධ බාහිර ස්ථානවල මුදල් අයකර පුද්ගලික අමතර පන්ති පැවැත්වීම තහනම් කර තිබේ.
එමෙන්ම මෙම නව ප්‍රතිපත්තිමය තීරණය සම්බන්ධයෙන් දකුණු පළාතේ සියලුම පාසල්වල ගුරුවරුන් දැනුවත් කර එසේ දැනුවත්වූ බවට සහතිකයක් ලබාගන්නා ලෙස මෙම චක්රලේඛයෙන් විදුහල්පතිවරුන් දැනුවත් කර ඇත.
මෙම නියමය පිළිනොපදින ගුරුවරුන් සඳහා අවශ්‍ය විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීම සඳහා එම තොරතුරු කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත ලබාදෙන ලෙසත් මෙමගින් විදුහල්පතිවරුන්ට අවධාරණය කර ඇත.
සියලුම පාසල් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරගැනීම වෙනුවෙන් මෙම ක්‍රියාවලිය නිසියාකාරව සිදුවන්නේද යන්න පිළිබඳව දකුණු පළාතේ සියලු අධ්‍යාපන නිලධාරීන් අධීක්ෂණය කළයුතු බවද මෙම චක්‍රලේඛයේ සඳහන් වේ.
බෙන්තොට ජේ.ඉඳුරුවගේ