දකුණු පළාතේ මිනිස් ඝාතන දෙකක් සිදුකර තවත් ඝාතන දෙකක් කිරීමට මුදල් ලබාගෙන අර අදිමින් සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ඊස්රාවාරි ප්‍රදීප් කුමාර නොහොත් සුද්දා යන සැකකරු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.
එම සැකකරු සන්තකයේ තිබී බලපත්‍ර නොමැති විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් ,0.38 වර්ගයේ ජීව උණ්ඩ 5 ක් 9 එම් එම් වර්ගයේ ජීව උණ්ඩ 7 ක් මෙන්ම හොරයින් මත්කුඩු මිලිග්‍රෑම් 10100 ක් පොලිස් භාරයට ගෙන ඇත.
මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ බුද්ධි හා ආවේශන අංශයේ නිලධාරියකු හට පුද්ගලික ඔත්තුකරුවකු ගෙන් ලද තොරතුරකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව උප පොලිස් පරීක්ෂක එම් ටි.අයි සම්පත් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අහුන්ගල්ල බලපිටිය කොස්ගොඩ හික්කඩුව හා අම්බලන්ගොඩ යන ප්‍රදේශවල දින කීපයක් ආවේෂණ රාජකාරිවල යෙදී සිට වතුගෙදර අරගහතොට පොකුණු පාර නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශනය සිදු කිරීමේදී ඉකුත් අප්‍රේල් 14 වෙනි දින අහුන්ගල්ල පොලිස් වසමේදී ටි 56 ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීම , ඉකුත් මස 10 වෙනි දින පිස්තෝල ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට පොලිසිය සඳහන් කරයි.
තවද ඉදිරි දිනයකදී අම්බලන්ගොඩ ප්‍රදේශයේදී ගිරවා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු සහ අහුන්ගල්ල පොලිස් වසමේදී වරායේ සේවයේ නියුතු පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා මුදල් ලබා ගනිමින් සැලසුම් සකස් කර ඇති බවට සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින හතක රැඳවූම් නියෝග මත රඳවා ගනිමින් වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතය.