ගාල්ල දිස්ත්‍රික්කයේ තුන් දහස ඉක්මවූ ලිංගික වෘත්තීක කාන්තාවන් සිටින බවත්, දකුණු පළාත තුළ ලිංගික වෘත්තීක කාන්තාවන් 7,000ක් පමණ ආසන්න වශයෙන් සිටින බවත්, මානව සහ සොබා සම්පත් සංවර්ධන පදනමේ විධායක අධ්‍යක්ෂිකා කේ.පී. සංජීවනී මහත්මිය පවසන්නීය. ගාල්ල ප්‍රදේශයේ පසුගිය (20 දා) පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංජීවනී මහත්මිය මෙසේ ද කීවාය. ''ශ්‍රී ලංකාවේ ලිංගික වෘත්තීක කාන්තාවන්ගේ රැකියාව අනිත් රැකියාවලට සාපේක්ෂව වෙනස් විදියකට පිළිගන්නේ. ඒක නිසා ලිංගික වෘත්තීක කාන්තාවන් සමාජයේ දී විවිධ අභියෝගයන්ට මුහුණ දෙනවා. ලිංගික වෘත්තීක කාන්තාවන් තමන්ගේ පවුල තුළ, සමාන්‍ය සමාජය තුළින් ප්‍රතික්ෂේප කිරීම්වලට ලක්වෙනවා. ඒ වගේම සේවා සැපයීමේදී ද කොන්කිරීමකට සහ වෙනස් කිරීම්වලට භාජනය වෙනවා."
පසුගිය කොරෝනා පැවති කාලයේ අවිධිමත් කේෂ්ත්‍රයේ රැකියා අහිමි විම නිසා ලිංගික වෘත්තීක කාන්තාවන් රැකියා සඳහා වැඩි වශයෙන් යොමු වීමේ ප්‍රවණතාවයක් තිබුණා. ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා ද, ඇතැම් කාන්තාවන් ලිංගික සේවා සැපයීම් සඳහා පෙළඹී තිබෙන බව අපට අනාවරණය වී තිබෙනවා.
ලිංගික වෘත්තීක කාන්තාවන් රැසක් වෙනත් රැකියා සඳහා යොමු කර තිබෙනවා. එනමුත් දවසක් දෙකක් ගියාට පස්සේ රැකියාව කරන ස්ථානයට, අදාළ කාන්තාව ලිංගික වෘත්තික කාන්තාවක් බවට අනාවරණය වීම හේතුවෙන් රැකියාව අහිමි වෙන අවස්ථා වාර්තාවෙලා තියෙනවා.
ආයතනයක් ලෙස අපි සෑම අවස්ථාවකම ලිංගික වෘත්තික කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා කටයුතු කරනවා. ඔවුන්ට අදාළ ජාතික හැඳුනුම්පත, උප්පැන්න ලබා ගැනීම ඇතුළු නෛතික කාර්යයන් සඳහා අපේ සංවිධානය මගින් සහයෝගය ලබාදෙනවා. ඔවුන් උපයන මුදල් ඉතුරුම්වල ට යොමු කරවනවා. අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන ලෙස උපදෙස් දෙනවා. ලිංගික වෘත්තීක කාන්තාවන්ගෙන් සැලකිය යුතු පිරිසක් එවැනි වැඩපිළිවෙල සමග සම්බන්ධ වී සිටිනවා.
ලිංගික වෘත්තීක කාන්තාවන් සඳහා සුබසාදන වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් වෙත ''මානව සහ සොබා සම්පත් සංවර්ධන පදනම" ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර තියෙනවා. ඒ වගේම ඉදිරියටත් ක්‍රියාකාරීව සංවිධානය ලෙස මැදිහත් කිරීම් කරනවා. යැයි ද කීවාය.
අනුර ප්‍රියන්ත