ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අළෙවි අංශය විසින් පිරවුම්හල් හිමියන් වෙත අදාළ චක්‍රලේකය නිකුත් කිරීමට වසර 08ක කට වඩා කාලයක් හිතාමතා ප්‍රමාද කිරීම හේතුවෙන් 2014 - 2022 කාලය තුළ සංස්ථාවට රුපියල් මිලියන. 3,416 ක අලාභයක් සිදුකර ඇති බවත්, ඒ අනුව මහා පරිමාණ වංචාවක් සංස්ථාව වෙත සිදු කිරීම සම්බන්ධයෙන් අළෙවි අංශය වගකිව යුතු බවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ 2022 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කරන කෙරිණි.
සංස්ථාවේ නිලධාරීන් මෙවන් වංචා සිදු කිරීම පිළිබඳව කෝප් කමිටු සාමාජික මන්ත්‍රීවරුන් විසින් සිය අප්‍රසාදය පළ කරන ලදී. තවද, මෙම වංචා සඳහා සංස්ථාවේ අභ්‍යන්තර නිලධාරින් පැහැදිලිවම වගකිව යුතු බව පෙන්වා දුන් කාරක සභාව ඒ සම්බන්ධයෙන් සංස්ථාව ගෙන ඇති ක්‍රියාමාර්ගයන් පිළිබඳව ද පැමිණ සිටි නිලධාරීන්ගෙන් විමසන ලදී.
එසේම එම වංචාව සිදුකිරීමට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව සහ එම නිලධාරීන්ගේ අයතා ක්‍රියා සම්බන්ධයෙන් සංස්ථාව ගෙන ඇති ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් දින 7ක් ඇතුළත කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසද කෝප් කමිටුව මෙහිදී නිර්දේශ කළේය.
තවද, බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 31,021.07ක මුදලක් වැඩිපුර කොමිස් ලෙස ගෙවීම හේතුවෙන් මහජනතාවට ඉන්ධන සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදු වී ඇති බව ද මෙහිදී අනාවරණය විය.
නිලධාරින් විසින් සිදු කර ඇති මෙම ගෙවීම හේතුවෙන් මේ වන විට පාරිභෝගිකයා විසින් 92 පෙට්‍රල් ලීටරයකට සඳහා රුපියල් 5.85ක්ද, 95 පෙට්‍රල් ලීටරයට සඳහා රුපියල් 7.50ක්ද, LED සඳහා රුපියල් 5.88ක්ද, LSD සඳහා රුපියල් 6.96 ක මුදලක් ද වැඩිපුර ගෙවන බව මෙහිදී තවදුරටත් අනාවරණය විය.
එමෙන්ම 2022 වර්ෂය සඳහා වැඩිපුර ගෙවූ කොමිස් මුදල අලෙවි වියදමක් ලෙස ගිණුම්ගත කර තිබීම පිළිබඳවද මෙහිදී කාරක සභාව විමසා සිටින ලදී. ඒ අනුව, මෙම වැඩිපුර ගෙවීම් අයකර ගැනීම් සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරින් පිළිබඳව සහ ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කමිටුව විමසන ලදී. ඒ අනුව මේ සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් මේ වන විට මෙරට නොමැති බව මෙහිදී අනාවරණය විය.
මෙවැනි මුල්‍ය වංචාවක් සිදුකිරීමට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව ඇතුළත් සවිස්තර වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසත් අභ්‍යන්තර පරීක්ෂණවලට සමගාමීව පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙසත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.