ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් තෙල් පිරිපහදුව, රජයට අයත් වෙනම ආයතනයක් ලෙස ස්ථාපිත කර ඉන්ධන ප්‍රමිතිය වැඩි කිරීමට, කාර්යක්ෂමතාව වැඩි කිරීමට, ධාරිතාව වැඩි කිරීමට සහ පිරිවැය අඩු කිරීමට අවශ්‍ය මුල්‍ය ආයෝජන ලබා ගැනීමට නියමිතය.
එමෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වත්මන් අනුමත සේවකයන් සංඛ්‍යාව අවශ්‍යතාව අනුව සංශෝධනය කිරීමට සහ නව වැටුප් තල සකස් කිරීමත් සේවා සහ කාර්ය ඩිජිටල්කරණයට ලක් කිරීමත් මෙමගින් සිදු කිරීමට යෝජිතය.
මෙම වැඩපිළිවෙළේ කාලරාමුව සහ ක්‍රියාත්මක කිරීමේ වැඩකටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඛනිජ තෙල් සංස්ථාවේ හා තෙල් පිරිපහදුවේ ඉහෙළ කළමනාකාරිත්වය සමග පැවැත්වීය.
මේ අතර ත්‍රිකුණාමලය තෙල් ටැංකි පර්යන්තයේ සංවර්ධන සැලසුම සහ එම වැඩපිළිවෙළේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ත්‍රිකුණාමලය තෙල් ටැංකි පර්යන්ත සමාගමේ කළමනාකාරිත්වය සමග පැවැත්විණ. එම සමාගම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ලංකා ඉන්දියානු ඉන්ධන සමාගමේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන අතර එහි තෙල් ටැංකි 61 ක් අන්තර්ගතවේ.
එම සාකච්ඡාවේදී ටැංකි 61හි ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට, නල මාර්ග පද්ධතිය සැලසුම් කිරීමට, අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධන කිරීමට හා රටේ අවශ්‍යතාව මෙන්ම අපනයන කටයුතු වෙනුවෙන් ඉන්ධන ගබඩාකිරීම සඳහා ටැංකි සංවර්ධනය කිරීම සිදු කිරීම අදියර කිහිපයක් ඔස්සේ සිදු කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.