වස්කඩුව ගාළු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ මාතර, වැලිගම ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කීය.
රෝහල් ගතකර ඇති කාන්තාවගේ සැමියා ඇයව හැර දමා අනියම් බිරිඳ සමග එම තෙමහල් ගොඩනැගිල්ලේ ඉහළම මහලේ මාස තුනක පමණ සිට පදිංචිව සිට ඇත. ඇය හෝමාගම ප්රදේශයේ සුපිරි වෙළඳ සැලක රාජකාරි කරමින් සිට ඇති අතර, දින දෙකකට පෙර තවත් පුද්ගලයෙකු සමග මෝටර් රථයකින් බලහත්කාරයෙන් රැගෙන විත් රදවාගෙන සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය කීය.
රෝහල් ගතකර ඇති කාන්තාව ඊයේ (19) රාත්රි රෙදි පටිවලින් සැකසූ ආධාරකයකින් ජනේලයකින් පැන පහලට බැසීමට උත්සාහ කිරීමේදී ඇද වැටී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිව ඇතැයිද පොලිසිය කීය.
තුවාල ලැබූ කාන්තාව කළුතර ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්රකාශකයෙක් පැවසීය.
කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරින් පරීක්ෂණ සිදුකරන ලදී .
සැකකාර සැමියා සහ ඔහුගේ අනියම් බිරිදද, තුවාල ලබූ කාන්තාව මෙන්ම මෝටර් රථයක නංවාගෙන පැමිණි අනෙක් පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි .
කළුතර උතුර ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතා ගේ උපදෙස් පරිදි අපරාධ අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වති .
පානදුර සුමිත් පොතුපිටිය සහ වාද්දුව දයා හේමන්ත සිල්වා