බේකරි හිමියන්ගේ සංගම්වල ඉල්ලීමට තිරිඟු පිටි මත පනවා ඇති බද්ද ලිහිල් කිරීමට රජය පියවර ගනිමින් සිටින බවත්, මිල ඉහළ යාම සමඟ සහල් පරිභෝජනය පහත වැටී ඇති මොහොතක එය ක්‍රියාත්මක වුවහොත් රට තුළ භයානක තත්ත්වයක් ඇතිවන බවත් සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති නිශාන්ත අත්තනායක මහතා පවසයි.
වෙළෙඳ සංගම් නියෝජිතයන් හමුවීමට පැමිණි මොහොතක ගම්පොළ නගරයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කර සිටියේ සහල් පරිභෝජනය පහත වැටී ඇති මොහොතක මෙවැනි තත්ත්වයක් මතු වුවහොත් පාන් පිටි පරිභෝජනය ඉහළ යාමෙන් සමස්ත ජාතියම රෝගීන් බවට පත්වන බවයි.ඒ මහතා එහිදී මෙසේ ද පැවසීය.
“බේකරි නිෂ්පාදනවල මිල පහත දැමීමට නම් පිටි බදු මුදල් අඩු කළ යුතු බවට රජයට ඔවුන් යෝජනා කර තිබෙනවා. ඒ අනුව රජය එම පියවර අනුගමනය කිරීමට කටයුතු කරමින් සිටින බව අපට ආරංචි ලැබී තිබෙනවා.මෙම තත්ත්වය මත වී ගොවියාට වෙළෙඳපොළද අහිමි ව, වී මිල පහත වැටීම සිදුවීමෙන් ගොවි පවුල් විශාල ප්‍රමාණයක් අසරණභාවයට පත් වෙනවා. එසේ නම් ජනාධිපතිවරයා තීරණය කළ යුතුයි ඇමෙරිකාවේ ඉන්න තිරිඟු පිටි ගොවියා ආරක්ෂා කරනවාද ශ්‍රී ලංකාවේ ඉන්න වී ගොවියා ආරක්ෂා කරනවාද කියලා.
නාඩු සහල් සඟවා, පාලන මිලෙන් බැහැරව ගොස් සහල් මිල ඉහළ දැමීමට මහා පරිමාණ මෝල් හිමියන් කටයුතු කිරීමෙන් ඇතිවූ අර්බුදයට නව ජනාධිපතිවරයා වගකිවයුතු නැහැ.මේ ලෙස සහල් ඒකාධිකාරියක් ඇතිවීමට පසුගිය ආණ්ඩුවල උදව් උපකාර ඒ අයට ලැබුණා. මෙය පාරිභෝගිකයාට සුදුසු තත්ත්වයක් නොවේ. ඒ නිසා මෙම ජනාධිපතිවරයාට ඒ සඳහා විසඳුම් සෙවීමට සිදුවෙනවා. එසේම අප ප්‍රකාශ කරන්නේ ඇතිවෙමින් තිබෙන තත්ත්වය සමග පිටි මිල පහත වැටුණ හොත් මෙරට ජනතාව පිටි ආශ්රිත ආහාර පරිභෝජනය වැඩි කරනවා. ඒ සමග ඇතිවන සෞඛ්‍ය ගැටලුවලට පිළිතුරු සෙවිය යුතු වෙනවා.ඒ නිසා මෙරට ජනතාවගේ බත්පත ආරක්ෂා කරදීමට රජය මැදිහත් විය යුතුයි.
මහා පරිමාණ මෝල් හිමියන්ගේ සහල් ඒකාධිකාරිය රැකදීමට පැවති සියලු ආණ්ඩු කඩේ ගියා. ගොවියන්ට ,සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට සහන ලබා දෙමින්, නිෂ්පාදන පිරිවැය අඩු කරමින්, නිෂ්පාදනය ඉහළ දමමින්,ඒකාධිකාරයට හිතුමතේට කඩේ යන්නැතුව නව ජනාධිපතිවරයා ගනුදෙනු කරනු ඇතැයි අපි සිතනවා.මෙරට සහල් නිෂ්පාදනයට මහා පරිමාණ මෝල් හිමියන් දායක වන්නේ සියයට 45 ක් වුවත් ඒ අය වී නිෂ්පාදනයෙන් සියයට අසූවක්ම ගබඩා කරගන්නවා. මේ තුළින් තමයි මේ අය රටට බලපෑම් කරන්නේ. එම නිසා මෙම පහසුකම සුළු හා මධ්‍යම පරිමාණ සහල් නිෂ්පාදකයාට ලබාදීමෙන් මෙම සහල් මාෆියාව අවසන් කළ හැකියි.
එසේම මෙරට සහල් වෙළෙඳපොළේ නාඩු සහල් සඟවා කීරි සම්බා එළියට දැමීමේ කුමන්ත්‍රණයට ඩඩ්ලි සිරිසේන ඇතුළු මෝල් හිමියන් වගකිවයුතුයි. පැවති රජයේ පාරිභෝගික අධිකාරිය ඒ අයට උදව් කළා. මේ මෝල් හිමියන්ට හිතුමතේට සහල් මිල ඉහළ දාන්න පාරිභෝගික අධිකාරිය අවස්ථාව දුන්නා. අදටත් පාරිභෝගික අධිකාරිය හරියට වැඩ කළොත් සහල් මිල ඉහළ යන්නේ නෑ. ඒ නිසා සංගමයක් ලෙස මම දැඩි ලෙස ඔවුන්ට පවසනවා තමන්ගේ රාජකාරිය හරියට කරන්න කියලා.
ඒ වගේම අපේ රටේ වී වගාව නියාමනය වෙන්නේ නෑ. මේක අපි හැම ආණ්ඩුවකදීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පෙන්වා දුන්නත් වැඩක් වුණේ නෑ. මේකෙන් වුනේ රටට අවශ්‍ය ඒ ඒ වර්ගවල සහල් නිෂ්පාදනයක් සිදු නොවීමයි. කිරි සම්බා හෝ වෙනත් වර්ග අඩු වැඩි වශයෙන් වෙළඳපොළට පැමිණ මේ වගේ මිල ඉහළ ගියා.පෙරදිග ධාන්‍යාගාරය වූ අපේ රටේ සහල් හිඟයක් මෙන්ම මිල ඉහළ යාමක් සිදුවෙන්න බැහැ. නමුත් එක කණ්ඩායමක් වටා මේ වී ටික හාල් ටික ගොනුවීම තමයි මේ අර්බුදයට හේතුව.
මෙරට වසරකට පරිභෝජනයට සහල් අවශ්‍ය වන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ 24යි. ඒ සඳහා මෙට්‍රික් ටොන් ලක්ෂ තිස් අටක් වී නිෂ්පාදනය කිරීම අවශ්‍යයි. මෙට්‍රික් ටොන් පනස් හතරට එහා මේ රටේ වී නිෂ්පාදනයක් තියෙනවා. එහෙනම් කෝ එම අතිරික්ත වී ටික.අපි කියන්නේ වී නිෂ්පාදනය නියාමනය කරන්න කියලා. අද වී අලෙවි මණ්ඩලය කෝ.සංගමයක් විදියට අපි විශේෂ යෝජනාවක් කරනවා. රජය වාරි ජල පහසුකම් ගොවියාට දෙනව නම්, පොහොර සහනාධාරය දෙනවා නම්, අනෙකුත් සහන ලබා දෙනවා නම් ගොවියාට වගකීමක් තියනවා රජය පනවන මිලකට වී ටික ලබා දෙන්න.”
ගම්පොළ -සුරංග දිල්හාන්