එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සිටින නිවසකට අද (11) අලුයම මුහුණු ආවරණය කරගෙන කළු පාටට හුරු ඇඳුම් ඇඳ ඇතුළු වූ නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එක් සහෝදරියකට නිවසේ ඇඳ මතදි තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හොරණ මීවනපලාන සිරිල්ටන් වත්ත පදිංචි උඩ කන්දගේ රමණී සකුන්තලා 58 යන කාන්තාවයි.
ඝාතනයට ලක් වූ කාන්තාව බංගලාදේශ ජාතිකයෙකු සමග විවාහ වී සිටින අතර ඔහු එරට පදිංචිව සිටින බවත් ඇය බාල සහෝදරිය සමඟ මෙම නිවසේ ගත කරන බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඉංගිරිය හල්වතුර ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක් වන බාල සහෝදරියද මීට සති තුනකට පමණ ඉහතදී මෙම නිවසට පැමිණි නවාතැන් ගෙන ඇති අතර ඊයේ (10) රාත්‍රී 7.30 ට පමණ ඔවුන් දෙදෙනා දොරවල් වසා නින්දට ගොස් ඇති බව නැගණියගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිසිය කියයි.
ඝාතනයට ලක් වූ කාන්තාව නිවසේ කාමරයක ඇයගේ නැගණිය මුළුතැන් ගෙයි ආසන්නයේ කාමරයක බිම නින්දට ගොස් තිබූ බව පොලිසිය කියයි.
අලුයම 1.30 ත් 1.45 ත් අතර කාලයේදී නිවස තුළට ඇතුළු වී තිබූ සහසිකයන් දෙදෙනා
බාල සහෝදරියගේ අත් පා ගැට ගසා කටට පාන් කඩ ඔබා යාබද කාමරයට ගොස් ඇයගේ වැඩිමහල් සහෝදරිය ඝාතනය කර පලා ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
ඝාතනයට ලක් වූ කාන්තාව පැළඳ සිටි රන් භාණ්ඩ ඒ ආකාරයෙන්ම තිබෙන බවත් පැමිණි ඝාතකයින් නිවසේ අල්මාරී ඇද දමා තිබූ රන් භාණ්ඩ සහ මුදල් රැගෙන යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
ඝාතයකින් නිවසට ඇතුළු ආකාරය සැක සහිත බවත් කිසිදු දොරකට හෝ ජනෙලයකට හානි වී නොතිබූ බවත් පොලිසිය සඳහන් කරයි.
පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක සහකාර පොලිස් අධිකාරිය උදය කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත හොරණ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පි එස් පනාවල මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් ලලිත් කොස්තාපල් 69128 ප්‍රභාත් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.