ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගය වෙනුවෙන් වැයකළ රු. මිලියන 188 ක පමණ චෙක්පත් නිවැරදි ක්‍රියාලියකින් තොරව ජනාධිපතිවරණයට පෙර දින ජාතික තරුණසේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අත්සනින් ලබා දී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වෙයි.
සභාපතිවරයා බලපෑම් කළ නිසා වියදම් සහතික කළා. එසේ නොකළා නම් අපිව මාරු කරාවි - නිලධාරීන්
රුපියල් මිලියන 100 ක් පමණ මහා භාණ්ඩාගාරයෙන් ලැබුණේ ජනාධිපතිවරණයට පෙර දින සවස - නිලධාරීන්
හිටපු ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් මෙම මුදල් වියදම් කළ බව පැහැදිලියි - කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු
එවකට සිටි අධ්යක්ෂ මුදල්, කාරක සභාවට පැමිණ සිටියද පහළ නිලධාරීන් අදහස් ඉදිරිපත් කරද්දී නිහඬව සැඟවී සිටීමට උත්සාහ කිරීම කාරක සභාව නොමග යැවීමක් - කෝප් කාරක සභාව.
රාජ්‍ය නිලධාරීන් තමන්ට පැවරුණු කාර්යභාරය නිවැරදිව ඉටු කරන්න - කෝප් සභාපතිවරයාගෙන් සියලු රාජ්‍ය නිලධාරීන්ට ඉල්ලීමක්
ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා කෝප් කමිටුවට කැඳවීමට තිරණය කරයි.
ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගය වෙනුවෙන් වැයකළ රු. මිලියන 188 ක් පමණ චෙක්පත් ජනාධිපතිවරණයට පෙර දින ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අත්සනින් ලබා දී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.
මෙම චෙක්පත් සඳහා හිටපු සභාපතිවරයා අත්සන් කොට ඇත්තේ මෙම ගෙවීම් සඳහා අධ්යක්ෂ මණ්ඩලයේ අනුමතියකින් තොරව, නිලධාරීන්ට බලපෑම් කරමින් 2024 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයට පෙර දින බවත් මෙහිදී හෙළි විය. මේ අනුව කාරක සභාව නිලධාරීන්ගෙන් විමසීමේදී නිලධාරීන් පෙන්වා දුන්නේ ජනාධිපතිවරණයට පෙර දින මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක් පමණ ලැබුණු බවත් එවකට හිටපු සභාපතිවරයාගේ බලපෑම මත මෙම වියදම් සහතික කොට චෙක්පත් නිකුත් කිරීමට සිදු වූ බවත්ය. තරුණ සේවා සභාවේ ගණන් දීමේ නිලධාරීයා ලෙස හිටපු සභාපතිවරයා නිර්දේශ කිරීමෙන් පසු එය කිරීමට සිදු වූ බවත් එසේ නොකළේ නම් තමන් ස්ථාන මාරු කිරීම් වලට ලක් කරන බවත් මෙහිදී නිලධාරීහු ප්‍රකාශ කළහ. මේ අනුව ජනාධිපතිවරණයට පෙර දින සවස රු. මිලියන 188 පමණ චෙක්පත් නිකුත් කිරීමට සිදු වූ බවත් මෙහිදී නිලධාරීහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.
මෙහිදි කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා පෙන්වා දුන්නේ මෙය ඉතා සංවේදී කරුණක් බවයි. රාජ්‍ය නිලධාරීන් බිල්ලට දී ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා මුදල් අවභාවිත කොට ඇති බවයි. එසේම නිලධාරියාටද මෙවැනි කරුණු වලදී විරුද්ධවීමට පෞරුෂයක් පැවතිය යුතු බව ද පෙන්වා දුන් කාරක සභාවේ සභාපතිවරයා තමන්ට පැවරුණු කාර්යභාරය නිවැරදිව ඉටු කරන ලෙස සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසුවේය.
මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වන අතරතුර ජාතික තරුණ සේවා සභාවේ එවකට සිටි මුදල් අධ්යක්ෂවරයා කාරක සභාවට පැමිණ සිටියද කාරක සභාව අවසන් වන වේලාව වන තෙක්ම ඔහු අදහස් පළ නොකර සිටීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළ විය. පහළ නිලධාරීන් අදහස් ඉදිරිපත් කරද්දී නිශ්ශබ්දව සිටීම කාරක සභාව නොමග යැවීමක් බවත් මේ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගත යුතු බවත් මෙහිදී කාරක සභාව පෙන්වා දෙන ලදි.
එසේම ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා කෝප් කමිටුවට කැඳවීමට මෙහිදී තීරණය කෙරුණු අතර හෙට දින (20) මෙම සාකච්ඡාව වැඩිදුරටත් පැවැත්වීමට මෙම ආයතනය කෝප් කමිටුවට කැඳවීමට තීරණය කෙරුණි.
මෙම සියලු තොරතුරු අනාවරණය වුයේ ජාතික තරුණ සේවා සභාවේ සහ ශ්‍රී ලංකා යූත් සර්විසස් (පුද්ගලික) සමාගමේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා, වර්තමාන කාර්ය සාධනය සහ 2021 නොවැම්බර් 16 දින පවත්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ගනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (18) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදි දීර්ඝ වශයෙන් 2024 ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 8 කාලය තුළදී ජාතික තරුණ සේවා සභාව විසින් දියත් කරන ලද ස්මාර්ට් යූත් අවුරුදු උත්සවය, ජාතික තරුණ වෙසක් උළෙල, ජාතික තරුණ පොසොන් කළාපය, යාපනය තරුණ හමුව වැඩසටහන, 31 Night Youth Celebration සහ ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත වැඩසටහන වෙනුවෙන් වෙන්කොට තිබූ රු. 538,080,000/= ක මුදල් ප්‍රතිපාදන සහ ඒවා වියදම් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු විය. මේ අනුව මේ වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ තරුණ අභිවෘද්ධිය වැඩසටහන යටතේ රු. මිලියන 398 ක් පමණ වෙන්කර තිබුණද බිල්පත් වල අඩු පාඩු නිසා එම මුදල් ලබා නොදුන් බවත් මෙහිදී අනාවර්ණය විය.
එසේම වසර මුලදි සැපයුම් කරුවන් ලියාපදිංචි කරන බවත් පසුගිය කාලසීමාව තුළ එසේ නොමැතිව තරුණසේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අභිමතය පරිදි ඔහු සඳහන් කළ පුද්ගලයන්ගෙන් ලංසු ලබාගෙන අදාළ සැපයුම් සිදු කොට ඇති බවත් මෙහිදී අනාවරණය විය. තවද චෙක්පත් ලබාදීමේදී අදාළ පුද්ගලයා නොපැමිණ වෙනත් පුද්ගලයින්ට එ්වා රැගෙනයාමට අවස්ථාව ලබා දී ඇති බවද මෙහිදී අනාවරණය විය.
මීට අමතරව ශ්‍රී ලංකා යූත් සර්විසස් (පුද්ගලික)සමාගමේ මූල්‍ය විනය පවත්වාගෙන නොයෑම පිළිබඳව සහ අභ්‍යන්තර විගණනයන් නොපැවැත්වීම සම්බන්ධයෙන්ද මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය. එසේම ජාතික තරුණසේවා සභාවේ ස්ථිර තනතුරු දරන නිලධාරීන් 25 දෙනෙකු ස්ථිර හා තාවකාලික පදනම යටතේ ජාතික තරුණ සේවා සමූපකාර සමිතියේ තනතුරු සඳහා පත් කිරීම සම්බන්ධයෙන්ද, පූර්ව පොදු ව්‍යාපාර කාරක සභාවේ ගෙන ඇති තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.
එසේම ගැටලු සහගත තත්ත්වයන් රැසක් පැහැදිලි වන බැවින් ජාතික තරුණසේවා සභාව, ශ්‍රී ලංකා යූත් සර්විසස් (පුද්ගලික) සමාගම සහ ජාතික තරුණ සේවා සමූපකාර සමිතියේ අවශ්‍යතාවය සහ අනෙකුත් සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් මාසයක් ඇතුළත වාර්තාවක් කෝප් කාරක සභාවට ලබාදීමට මෙහිදි නිර්දේශ කරන ලදි.