තමන්ට ද එක් එක් "අප්පොච්චිලා" "ඇමතිකම්-තාන්නමාන්න" සඳහා ඇරයුම් එවා ඇති නමුත් තමන් කිසිවිටෙකත් "තනතුරු පොදියට- ධන කුට්ටියට" රස වැටී තම ප්‍රතිපත්ති පාවා දී නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ 'සිටියදීත්- ඉන්පසුවත්' යුද ජයග්‍රහණයට 'පෙරත්-ඉන්පසුවත්' 'එදත්-අදත්' තමන් 'එකම ප්‍රතිපත්තියක්-එකම අරමුණක්-එකම දේශපාලන මතයක්' වෙනුවෙන් පෙනී සිටි බව වැඩිදුරටත් පැවසූ ඒ මහතා, තමන් දිගු කලක් තිස්සේ නියෝජනය කළ දෑහිතකාමී, දේශහිතෛෂී, ජාතිකවාදී, වාම-ප්රගතිශීලි ප්‍රතිපත්ති සමග ඉතාම සමානව ගමන් කළ හැකි අයකු ලෙස විශ්වාස කරන දිලිත් ජයවීර මැතිතුමන් තම කඳවුර මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඇති බව අවධාරණය කළේය.
බොරැල්ල පිහිටි සර්වජන බලය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා මෙසේ අවධාරණය කළේ ය.
"ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවූවාට පසුව දැන් ග්‍රහ මාරුවීම් සිදුවෙමින් තිබෙනවා. පොහොට්ටුව දෙස බලන්න. අද එතැන මොකද වෙන්නේ? බැසිල් රාජපක්ෂලා පොහොට්ටුව ගැන හිතලා ළඟ තියාගෙන හිටපු 'ඇච්චො- බැච්චො ටික' මහින්ද අප්පොච්චිගේ ඔඩොක්කුව අතහැරලා දැන් රනිල් අප්පොච්චිගේ ඔඩොක්කුවට පනිමින් සිටිනවා. බැසිල් රාජපක්ෂ කිරි පොවපු රෝහිත අබේගුණවර්ධන, එස්. එම්. චන්ද්‍රසේන වැනි මහ පැටව් පවා දැන් අනෙක් පැත්තට පැනලා තිබෙනවා.
මේ විදියට බැසිල් රාජපක්ෂලා කිරි පොවලා හදපු පොහොට්ටු පැටව් ටික මහින්ද අප්පොච්චිව සම්පූර්ණයෙන් අතහැරලා දාලා රනිල් අප්පොච්චි ළඟට යෑම නිසා අද පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12ක් පමණයි නාමල් රාජපක්ෂ සමඟ ඉතිරි වී සිටින්නේ. එයින් පස්දෙනෙකුම රාජපක්ෂලා. ඒ වගේම රාජපක්ෂ පවුලේ එක් ප්‍රධාන ජ්‍යෙෂ්ඨයෙක් අහනවා, 'රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන්න මම එන්න ද?' කියලා.
නමුත් රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය කියනවා, 'ඔබ ආවොත් අපේ පාර්ශ්වයට ආයෙත් රාජපක්ෂලා ගෑවුණා වගේ වෙයි. ඒ නිසා ඔබ මධ්‍යස්ථව සිටින බව පෙන්වන්න.' කියලා. ඒ කවුදැයි මාධ්‍යවේදී ඔබ සොයාගත යුතුයි. දැන් එතකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණ සටනට සූදානම් වෙන්නේ රාජපක්ෂලා නැතිවයි. අපට මතකයි විපක්ෂයේ ඇතැමුන් කීවා, 'ඔය රාජපක්ෂලා සමඟ මධුසමය ගතකරන තෙක් අපි ආණ්ඩුව සමඟ එකතු වෙන්නේ නැහැ' කියලා. දැන් ඒ අයට තිබුණු බාධාව ඉවත්ව තිබෙන බව පෙනෙනවා. ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු සතිය තුළ තවත් ග්‍රහ මාරු කීපයක්ම සිදුවීමට නියමිතව තිබෙනවා.
මේ සියල්ලෙන් පෙනෙන්නේ කුමක්ද? මේ රටේ දේශපාලනය ඉතාමත් තක්කඩි මට්ටමකට ඇදවැටී ඇති බවයි. ඔබ දන්නවා, මම ජනතා විමුක්ති පෙරමුණේ 'සිටියදීත් ඉන් පසුවත්' යුද ජයග්‍රහණයට 'පෙරත් ඉන් පසුවත්' 'එදත් අදත්' 'එකම ප්‍රතිපත්තියක්-එකම අරමුණක්-එකම දේශපාලන මතයක්' වෙනුවෙන් පෙනී සිටි බව, කටයුතු කළ බව. අපටත් ඔය එක එක අප්පොච්චිලා ඇමතිකම්, තාන්නමාන්න වෙනුවෙන් එක එක ආරාධනා පත්‍ර එවලා තිබෙනවා.
නමුත් අපි කිසිවිටෙකත් ඔවුන්ගෙන් ලැබෙන' තනතුරු පොදියට-ධන කුට්ටියට' රහ වැටිලා අපේ ප්‍රතිපත්ති-අරමුණු පාවා දීලා නැහැ. ඒ අනුව තමයි අපි අද අපේ දෑහිතකාමී- දේශහිතෛෂී, ජාතිකවාදී, වාම-ප්රගතිශීලි ප්‍රතිපත්ති සමඟ ඉතාමත් සමානව ගමන් කළ හැකි අයෙකු ලෙස විශ්වාස කරන දිලිත් ජයවීර මැතිතුමන් අපේ කඳවුරේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පිළිගනු ලැබුවේ. ඔහුත් සමඟ දෑහිතකාමී-දේශහිතෛෂී බලවේගවල සටන, ජාතිකත්ව කඳවුරෙහි සටන, ප්රගතිශීලී-වාම කඳවුරෙහි සටන, නිමා නොවූ ඒ ජයග්‍රහණ ලබා ගැනීමට තිබෙන සටන ඉදිරියට ගෙනයන්න තමයි අපි කැපවී සිටින්නේ."