ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික ප්රතිසංස්කරණයක් නොව 2050ට මුහුණ දිය හැකි ශක්තිමත් නව ආර්ථික ක්‍රමවේදයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
යල් පැනගිය ආර්ථික ක්‍රම මඟින් මෙරට ආර්ථිකය ගොඩගැනීමට නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැඟීමට පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් අවශ්‍ය වන්නේ විදේශ විනිමය උපයා ගැනීම බව ද පැවසීය .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, ලංකා වාණිජ මණ්ඩලය විසින් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී ඊයේ (05) පවත්වන ලද “2022 ආර්ථික සමුළුව ” අමතමිනි.
රට ගොඩගත හැකි නව ආර්ථික ක්‍රමවේදයක් හඳුන්වාදීමට මේ වන විටත් පියවර ගෙන තිබෙන බව ද ජනාධිපතිවරයා පැවසිය.
දැනට ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ණය ප්‍රතිව්‍යුගතකරණයේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉන්දියාවත් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථක බවත් පැවසීය.
චීනය සමඟ පැවැති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ප්‍රමාද වූයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සමුළුව පැවැති නිසා බවත් මේ වන විට එම සමුළුව අවසන් ව ඇති බැවින් එම සාකච්ඡා කඩිනම් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ලබන වසරේදී චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ ජනාධිපතිවරයා චීනය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බව ද පැවසීය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල ණය මුදල ලබන වසරේදී ලබාගැනීමට හැකියාවක් ලැබෙනු ඇතැයි ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.