වැඩකරන කෝටි දෙකකට අධික ජනතාවකගේ සක්‍රිය ගිණුම් ඇති සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් ලබාගත් ණය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අන්තර් සමාගම් සේවක සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.
ජාත්‍යන්තර ණය හිමි ආයතනවලට ශ්‍රී ලංකා රජය ලබාදී ඇති ප්‍රතිඥාවකට අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වලට අනුමැතිය ලබාගැනීම සඳහා ජූලි මස පළමුවැනිදා සහ දෙවැනිදා විශේෂ බැංකු නිවාඩුවක්ද ප්‍රකාශයට පත් කරමින් විශේෂ පාර්ලිමේන්තු සැසි වාර දෙකක් පැවැත්වීමටද පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගෙන ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර අන්තර් සමාගම් සේවක සංගමය රජය සේවක අර්ථසාධක අරමුදලෙන් සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් ලබාගෙන ඇති ණය කප්පාදු කිරීමට කටයුතු කළහොත් ඉන් එම අරමුදල්වල සාමාජිකයින්ට දැඩි අගතියක් වන බවද සඳහන් කොට ඇත්.
අන්තර් සමාගම් සේවක සංගමය සහ එහි සභාපති වසන්ත සමරසිංහ, එහි ලේකම් ජනක අධිකාරි ඇතුළු හයදෙනෙකු ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, එහි මූල්‍ය මණ්ඩලය, සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලේ ප්‍රධානීන්, නීතිපතිවරයා ඇතුළු 46දෙනෙකු නම් කොට ඇත”
සේවක අර්ථසාධක අරමුදල තුළ රටේ වැඩකරන කෝටි 02කට අධික ජනතාවකගේ සක්‍රිය ගිණුම් ඇති බවත් සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලේ තුළ ආසන්න වශයෙන් රටේ වැඩකරන කෝටි 2 1/2කට අධික ජනතාවකගේ සක්‍රිය ගිණුම් ඇති බවත් පෙන්වා දෙන පෙත්සම්කරුවෝ සේවක අර්ථසාධක අරමුදලේ ඇති මුදල් වලින් සියයට 93 පමණ මහ බැංකුව නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් සහ මහබැංකු බැඳුම්කරවල ආයෝජනය කර ඇතැයිද සේවක අර්ථසාධක අරමුදලෙන් අරමුදල් වලින් රුපියල් බිලියන 2390.4 ක් රජයේ බැඳුම්කර හා සුරැුකුම්පත්වල ආයෝජනය කර ඇතැයිද පෙන්වාා දෙති.
සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලේ ඇති මුදල් වලින් සියයට 86 ක් පමණ රුපියල් මිලියන 352 544 වටිනා රජයේ සුරැකුම්පත්වල සහ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවෝ පසුගිය මාර්තු මස 22 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුම පාර්ලිමේන්තුවට සභාගත ඇතැයිද පෙන්වා දෙති”
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාවයට අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයිද ජාත්‍යන්තර ණය හිමි ආයතන වලට ඒ බවට ප්‍රතිඥාවක් ලබාදී ඇතැයිද පෙන්වාා දෙන පෙත්සම්කරුවෝ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වලට අනුමැතිය ලබාගැනීම සඳහා සති අන්තයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාර 02ක් පැවැත්වීමට පක්ෂ නායක රැුස්වීමේදී තීරණයක් ගෙන ඇතැයිද ඒ යටතේ ජුනි මස 30 වැනිදා විශේෂ බැංකු නිවාඩුවක්ද රජය ප්‍රකාශයට පත් නොකට ඇති බවද පෙන්වා දෙති
සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් රජය ලබාගෙන ඇති ණය කප්පාදු කළහොත් කෝටි 02කට අධික එහි සාමාජිකයින්ට දැඩි අගතියක් වන බවත් මෙවැනි කටයුත්තක් සඳහා රජය අදාල අරමුදල්වල සාමාජිකයින්ගේ කැමැත්ත ලබාගෙන නැතැයිද පෙන්වා දෙති.
රජය එහි සාමාජිකයින්ගේ අදහස් විමසීම ප්‍රතික්ෂේප කිරීමෙන් රාජ්‍ය ප්රතිපත්තීන් උල්ලංඝනය කර ඇතැයිද ඉන් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන්නැයිද ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් රජය ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටිති”