2028 වසරේ දී ණය ගෙවීම ආරම්භ කිරීමේ දී ගෙවිය යුතු ණය පංගුව ඉක්මවා යන ආර්ථිකයක් මෙරට තුළ ඇති කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය. ඒ සඳහා අවශ්‍ය ආර්ථික සැලසුම් සැලසුම් සකස් කර ඇති බව ද ජනාධිපතිවරයා කීවේය.
ජනාධිපතිවරණයේ දී ඡන්දය ලබාදුන් ජනතාවට වඩා වැඩි ජනතාවක් මහ මැතිවරණයේ දී ඡන්දය ලබාදීමට බලාපොරොත්තුවෙන් සිටින බවද හෙතෙම පැවසීය. ඔහු මේ බව පැවසුවේ ඊයේ (11දා) ගම්පහ දී පැවති ජාතික ජනබලවේගයේ මහමැතිවරණ අවසන් ජන රැලිය අමතමිනි. හිටපු පාලකයන් මෙම ආණ්ඩුව කඩා වැටෙන තෙක් බලා සිටින බවත්, ජනතාව රට ගොඩනැගීමේ අපේක්ෂාවෙන් සිටින බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජනතාවගේ බලාපොරොත්තු බිඳ වැටීමට ඉඩ නොදී එම බලාපොරොත්තු සපල කිරීම ජාතික ජනබලවේගයේ අපේක්ෂාව බවත්, එම බලාපොරොත්තු ඉටු කිරීමට කැප වන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. එළඹෙන මැතිවරණයේ දී ශක්තිමත් බහුතර බලයකින් යුත් ආණ්ඩුවක් ගොඩනැගිය යුතු බවත්, ඒ සඳහා පාර්ලිමේන්තුව මාලිමාවෙන් පිරවිය යුතු බවත් ඔහු කීවේය.
ජාතික ජබලවේගය ශ්‍රී ලාංකීය දේශපාලනය ප්‍රමිතිගත කරන බවත්, දේශපාලඥයා සිතූ සිතූ දේ කළ තත්ත්වය වෙනස් කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ජනතාව වෙනුවෙන් සටන් කළ ජනතාවගේ පාර්ශ්වයේ සැමදා සිටගත් ජාතික ජනබලවේගය ඉදිරියටත් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වන හෙයින් ඒ විශ්වාසයෙන් යුතුව මාලිමාවේ බහුතරයකින් පාර්ලිමේන්තුව පුරවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.