තෙල් නැව් දෙකක් ලංකාවට සමීප මුහුදේ, එක නැවකට ඩොලර් 18,000 බැගින් අද වනවිට දින 04කට ඇ.ඩො. 72,000ක් ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙලා
දින 17කට ඩීසල් හා දින 12කට පෙට්‍රල් ඛනිජ තෙල් සංස්ථාව සතුයි
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඛනිජ තෙල් රැගෙන නැව් දෙකක් මේ වනවිට ජාත්‍යන්තර මුහුදේ නවතා තිබෙන බවත්, ඛනිජ තෙල් ලබාගැනීමට නිසි වේලාවට අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණය නිකුත් නොවුවහොත් එක් නැවකට දිනකට ඇමෙරිකානු ඩොලර් 18,000ක මුදලක් (රු.3,654,000ක්) ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදුවන බවත් %අද^ පුවත්පතට වාර්තා වෙයි.
ඒ අනුව දැනට පැමිණ තිබෙන නැව් දෙකෙන් එක් නැවකට පසුගිය 18 වැනිදා සිට අද (21දා) දිනය දක්වා ඇමෙරිකානු ඩොලර් 18,000 බැගින් සිවු ගුණයක් එනම් ඇ.ඩො. 72,000ක් (රු.14,616,000ක්) ගෙවීමට සිදුවන බවත්, අද දිනයේ අවශ්‍ය ඩොලර් ප්‍රමාණය නොලැබුණහොත් හෙට සිට මෙම මුදල දිනකට තවත් ඇ.ඩො. 18,000 බැගින් එකතු වන බවත් වාර්තා වෙයි.
සාමාන්‍යයෙන් තෙල් නැවක් ශ්‍රී ලංකාවට පැමිණීමේදී තෙල් සඳහා අදාළ මුදල් ලබාදීමෙන් පසු තෙල් ගබඩා කිරීමට දින 03ක පමණ සහන කාලයක් ලැබේ. නැවකට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන්නේ සහන දින තුනේ දී අදාළ නැවෙන් තෙල් ලබා නොගෙන එම නැව ශ්‍රී ලංකාවට නුදුරු ජාත්‍යන්තර මුහුදේ නැංගුරම් ලා සිටීමට සිදුවන දින ගණන අනුවය.
දැනට ජාත්‍යන්තර මුහුදේ නවත්වා ඇති නැව් දෙකෙන් එක් නැවක් ඊයේ (20දා) පැමිණ ඇති අතර, එම නැවට ප්‍රමාද ගාස්තු ගෙවීමට දැනට අවශ්‍යතාවක් නැතත්, දින 03ක සහන කාලය තුළ මුදල් ගෙවා නැවෙන් තෙල් ලබානොගතහොත් එම නැවටද ඉදිරියේදී ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන බව ද වාර්තා වෙයි.
කෙසේ වෙතත් ඛනිජ තෙල් සංස්ථාව තෙල් ලබාගැනීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලා ඇතත්, අවශ්‍ය ඩොලර් ප්‍රමාණය නිකුත් කරන දිනයක් පිළිබඳ සඳහනක් කර නැතැයිද කියැවෙයි.
මේ අතර, ඛනිජ තෙල් සංස්ථාව සතුව ඉදිරි දින 17කට අවශ්‍ය ඩීසල් තොග හා දින 12කට අවශ්‍ය පෙට්‍රල් තොග පවතින බවද ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_c3bad93275.jpg)