රුපියල් කෝටි ගණනක මුදල් හා වත්කම් උපයාගෙන ගෙන ඇති ආකාරය හෙළි කිරීමට අපොහොසත් වූ බව කියන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකුගේ හා ඔහුගේ බිරිඳගේ නමින් මෙන්ම, ව්‍යාපාරිකයෙකුගේ නමින් පවත්වාගෙන යන රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ගිණුම් මාස තුනක කාලයක් සඳහා අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (16ද) නියම කළේය.
මෙම මුදල් උපයා ගත් ආකාරයේ හෙළිකර ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව කියමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
ලබන වසරේ මාර්තු මස 16වෙනිදා දක්වා බලපැවැත්වෙන අන්දමට අදාළ බැංකු ගිණුම්වල ඇති මුදල් ඉවත් කර ගැනීම වළකාලමින් ගිණුම් අත්හිටුවීමට නියම කළ විනිසුරුවරයා, ඒ බව අදාළ බැංකුවල කළමනාකරුවන්ට දැනුම් දීමටද නියම කළේය.
මෙලෙස බැංකු ගිණුම් තහනම් කරන ලද්දේ, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු බව කියන හෝමාගම පදිංචි එම්.ජී. චන්න රෝහිත මහතාගේ සහ ඔහුගේ බිරිඳ වන ශාමලී ප්‍රියංකා පෙරේරා මහත්මියගේ මෙන්ම, ව්‍යාපාරියෙකු බව කියන ඩී.එම්. ධර්මරත්න මහතාගේ නම්වලින් රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල පවත්වාගෙන යන ගිණුම් කිහිපයකි.
සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අල්ලස් කොමිසමේ නිලධාරීහු සැකකරුවන් මුදල් උපයා ගන්නා ආකාරය පිළිබඳ ලැබුණු තොරතුරකට අනුව විමර්ශනයක් ආරම්භ කළේ යැයි දැනුම් දුන්හ.
එම විමර්ශනයේදී සැකකාර යුවළගේ නමින් කොළඹ පුද්ගලික බැංකුවක පවත්වා ගෙන යන ඒකාබද්ධ ගිණුමක ඇති මුදල් උපයා ගත් ආකාරය පිළිබඳව හා ව්‍යාපාරිකයාගේ නමින් රාජ්‍ය බැංකුවක පවත්වාගෙන යන ස්ථාවර ගිණුම් දෙකකුයි තැන්පත් කොට ඇති මුදල් උපයා ගත් ආකාරය පිළිබඳව තොරතුරු ඔවුන්ට හෙළි කිරීමට නොහැකි වූ බව දැනුම් දුන් නිලධාරීහු, අල්ලස් පනතේ තමන්ට ලැබී ඇති බලතල අනුව අදාළ බැංකු ගිණුම් දින හතකට අත්හිටුවීමට පියවර ගත්තේ ඇයිද දැනුම් දුන්න.
මෙම පුද්ගලයන් මුදල් උපයා ගත් ආකාරය පිළිබඳ වැඩිදුර විමර්ශනය කරන හෙයින් ඔවුන්ගේ බැංකු ගිණුම් මාස තුනක කාලයකට අත්හිටුවීමට නියම කරන්නයි අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වූ කරුණු පිළිගනිමින් ඒ සඳහා අවසර දුන් විනිසුරුවරයා, ලබන වසරේ මාර්තු 16වෙනිදා දක්වා බලපැවැත්වන පරිදි අදාළ තහනම් නියෝග නිකුත් කළේය.