පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ කණ්ඩායම සමගි ජන බලවේගය සමග සන්ධාන ගතවීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බවත්, එම සාකච්ඡා සාර්ථක වනු ඇති බවට තමා විශ්වාස කරන බවත් එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
ඊයේ(17දා) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
"විවිධ කොටස් අපිත් සමග සාකච්ඡා කරනවා. ආණ්ඩුවේ කොටස් ගණනාවක් ඉන්නවා. දැනටමත් ආණ්ඩුව නියෝජනය කරලා ඔවුන් සමග සිටි පාර්ශ්ව කිහිපයක් අපි සමග සාකච්ඡා කරමින් එකතු වෙලත් තිබෙනවා. ඒ වගේම තීරණාත්මක අවස්ථාව වන ජනාධිපතිවරණය ප්‍රකාශ කළාට පසුව ආණ්ඩුවෙන් තවත් කොටසක් විපක්ෂයට ඇවිල්ලා සහය දෙන්න දැනටත් සාකච්ඡා කරමින් සිටිනවා. අපි කියලා තියෙන්නේ එකම කාරණාවයි. ඒ තමයි අපේ අරමුණ තනතුරු වරප්‍රසාද බෙදා ගැනීම නෙවෙයි. අපේ අරමුණ විය යුත්තේ මේ පවතින පාලනය වෙනස් කිරීම වෙනුවෙන් පෙළගැස්ම. ඒ පෙළගැස්ම සඳහා එකතු වෙන්න බොහෝ දෙනෙක් ඉඩකඩ තිබෙනවා. විශේෂයෙන් ඒ ගැන සාකච්ඡා අදහස් හුවමාරු වෙමින් තිබෙනවා.
ඩලස් අපහප්පෙරුම මහතාගේ කොටසක් සමගි ජන බලවේගය සමග අත්වැල් බැඳ ගත්තා. සන්ධාන ගතවීමක් සිදු වුණා. ඒත් ඒක්කම ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමාගේ මූලිකත්වයෙන් තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අය සමගත් මේ වන විට අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. අනාගතයේ ඔවුන් එකතු වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒත් ඒක්කම දයාසිරි ජයසේකර මහතත් එහෙමයි. දයාසිරි ජයසේකර මහතාත් තව කණ්ඩායමක් සමඟ සන්ධාන ගතවීම වෙනුවෙන් අදහස් හුවමාරු කරගනිමින් ඉන්නේ. මට කියන්න පුළුවන් ඒ සියලු සාකච්ඡා අනිවාර්යෙන්ම සාර්ථක වෙනවා කියලා."