හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඇගේ නිවසින් අතුරුදන් ව ඇති බව රහස් පොලීසිය කළ දැනුම් දීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස රහස් පොලීසියට ඊයේ (20දා) නියම කළේය.
ව්‍යාජ තොරතුරු ආගමන විගමන පාලකවරයා වෙත ඉදිරිපත් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකාරියක් ලෙස හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය නම් කරමින් එසේ නියම කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශනෙවල ප්‍රගතිය වාර්තා කිරීමටද රහස් පොලීසියට නියම කළේය.
සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඩයනා ගමගේ මහත්මිය දැරූ පාර්ලිමේන්තු ධුරය අහෝසි කළ අතර, පසුව රහස් පොලීසිය කළ ඉල්ලීමකට අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇයට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.
ව්‍යාජ තොරතුරු ආගමන විගමන පාලකවරයා වෙත ඉදිරිපත් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් කරුණු දක්වමින් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඇය පදිංචිව සිටි නිවසින් අතුරුදහන් වී ඇතැයි දැනුම් දුන්නේය.
විමර්ශන අනුව ඇය මෙම සිද්ධියට අදාළව සැකකාරියක ලෙස නම් කළ හැකි යැයි දැනුම් දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙම සිද්ධියේ සැකකාරියක් ලෙස ඩයනා ගමගේ නමැත්තිය නම් කිරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරිය සම්බන්ධව ගත යුතු ඉදිරි පියවර වහාම ගන්නා ලෙස නියම කළේය.